පරණ පොතකින් කොළයක්

කාලයක් පසුදොර ලියූ චාමියා දැන් ඊටත් පසු දොරකින් “ඒ කාලේ” ගැන කතා ලියනා පොතෙන් කොළයක් කැඩීමට මටද සිත් දුන්නේ නාසා ගිය නදීශාවන් අත්හළ කියුමක් නිසාය.

“කව්රු කොහොම කිව්වත් ලොව කරුණිකම නායකයා අප මහා විදුහල්පති තුමාය” ~ Nadeesha Chandrasena

නදීසාවන්ගේ ඉහත කියමන හා මා එකෙන්ම එකඟ වන්නේ සහේතුකවය.

මන්ද යත් ඒ කතාව අපේ විදුහල්පතිතුමාටත් අදාළ නිසා ය.

කාලයක් පංති කාමරයේ යතුර භාරව සිටි නිසා උදේ පාන්දර පාසැලට එද්දී ප්‍රසන්න මුහුණකින් වේවැලත් අතේ තියාගෙන ගේට්ටුවත් ඔෆිස් එකත් අතර පාරේ එහාට මෙහාට ඇවිදින විදුහල්පතිතුමා දුටු විට “ගුඩ් මෝර්නින් සර්” කීම සහ කුණු ඇහිඳීම එදිනෙදා චර්යාවක් වී තිබුණා මතක ය.

මන්ද යත් සැම විටම පාහේ ඔහුගේ පිළිතුර වන්නේ “ගුඩ් මෝර්නින්.. ඔය කොළ ටික ඇහිඳගෙන යන්න” බැවිනි.

අප පාසැල වෙනත් විදුහල්පතිවරයකු යටතේ එතරම් පිරිසිඳුව තිබූ කාලයක් මට මතක නැති ය.

අපේ පංති කාමර පිහිටියේ පාසැලේ කාර්යාල ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ය. විවේක කාලය අවසන් බව දැක්වෙන සීනුව නාද වන විට වේවැලත් සමග එළියට බසින විදුහල්පතිතුමා තම නිල සංචාරයේ නිරත වන්නේ විවේක කාලය අවසන් බව අමතක වූ සිසුන්ට වේලාව මතක් කරන්නට සහ විදුහල්පති කාර්යාලය හා හරි කෙලින් පිට්ටනියට එහායින් පිහිටි ආපන ශාලාවේ කෑම සහ ප්ලේන්ටී අතර සිර වූ සිසුන් ඉන් නිදහස් කිරීමට ය. එම සීනුව නාද වූ පසු අප වැඩිපුරම විපරම් කරන්නේ විදුහල්පතිතුමා කොහේද යන්න විමසීමට ය. තනි සුදු අත්දිග කමිසය සහ කලිසමෙන් සැරසුණු ඔහු පාසැල් නිල ඇඳුමෙන් වෙනස් වන්නේ අත්දිග කමිසය සහ පැළඳ සිටින ටයි පටිය නිසා පමණකි. එබැවින් කලබලකාරී සිසුන් අතර ඔහු සොයාගැනීම ඉතාමත් අපහසු කාර්යයකි.

විවේක කාලයට පසු කාලපරිච්ඡේදයේ විදුහල්පති තම සංචාරයේ නිරත වන බව දන්නා සිසුන් අතර ඒ කාලයේ ප්‍රචලිතව තිබූ විනෝදාංශයක් වූ “පිනා එනෝ” ආතල් එක ගැනීමට ගොස් දිනක් කුජීත වූ අයුරු මට මතක ය.

ඉහළ මාලයේ සිට කෙලින්ම විදුහල්පති කාර්යාලය අසළට විවර වෙන පඩි පෙළ කෙළවරට බියෙන් පැකිළෙමින් යන සිසුන් කණ්ඩායමක් හදිසියේම ගාල කඩාගත් හරක් රැළක් මෙන් “පිනා එනෝ” යනුවෙන් කෑ ගසමින් දුව විත් ඩෙස් උඩින් පැන පංතියේ හිඳ ගැනීම මෙහිදී මූලික වශයෙන් සිදුවේ. ඉන් අපේක්ෂා කෙරෙනුයේ පංතියේ එවිට ආතල් එකේ ඩෙස් උඩ හිඳගෙන කකුල් පද්දමින් කතා දාගෙන සිටිනා සිසු සිසුවියන්ගේ ආතල් කුඩු කිරීමයි.

දිනක් විවේක කාලයෙන් පසුව නැවත පංති කාමරයට ගොස් ඒ කාලපරිච්ඡේදයට නියමිත ගුරුවරයා පැමිණ නැති බව දැන පහළට ගිය කණ්ඩායමත් සමග “පිනා එනෝ” යනුවෙන් කෑ ගසමින් දුව විත් ඊට ඉහළ මාලයේ සිට පහළට බසිමින් සිටි විදුහල්පතිගේ ඇඟේ හැපී විළිලජ්ජාවට පත් වූ අයුරු මතක් වෙද්දීත් දැන් නම් හතර හිනා ය. විදුහල්පතිතුමාට ද සිනහ පහළ වූවෙන් කුඩා වේවැල් පහර කීපයක් ඒ මේ අතින් රැන්ඩම්ලි කා “දුඃ පංතිවලට” කියා අසාගෙන පංතිවලට ගියා මතක ය.

තවත් දිනෙක අප දහදෙනෙක් පමණ “ෆ්‍රී පීරියඩ්” එකක් ආපන ශාලාවේ ගත කර එළියට බහින්නට හදද්දී, කාර්යාලයෙන් එළියට බට විදුහල්පතිතුමා සංඥා කර අප සියල්ල ගෙන්වා කාර්යාලය ඉදිරියේ සිටුවා තිබ්බා මතක ය. විනාඩි තිහක්  හතළිහක් පමණ යත්දී ප්‍රාථමික අංශයට පාසැල නිමවීමේ වේලාව හඟවන සීනුව නාද විය. එකේ දෙකේ පංතිවල පොඩි එවුන් පන්තිවලින් පෝලිමට එළියට බැස පිට්ටනිය පසු කරත්දී පෝළිම් ලොවෙත් කඩාගෙන ආතල් එකේ දුව එනු දුටු විදුහල්පතිතුමා අප කිහිප දෙනාට සන් කොට පොඩි උන්ගේ පෝළිම් හදන්නට කීය.

පෝළිම් හදනා අතරේ අප සමග හිටි “ගප්පියා”(නෑ නෑ ඒ ගප්පියා නෙමෙයි වෙන එකෙක්) යන අන්වර්ථ නමින් හැඳින්වූ සගයෙක් මරු වැඩක් කළේ ය.

අර පෝළිමට යන්නට හදනා පොඩි උන්ට විදුහල්පතිතුමා පෙන්වූ ඔහු “මල්ලී අතනින් යද්දී අර මාමට ටටා කියන්න හොඳේ” යනුවෙන් පැවසීය. අර පොඩි උන් දන්නා විදුහල්පතීත්වයක් නැති නිසා උන් හැමෝම කාර්යාලය පසු වෙත්දී මහ හඬින් “මාමේ ටටා.. මාමේ ටටා” යනුවෙන් අත් වනමින් යනු දැක විදුහල්පතිතුමාට ද හතර හිනා ගියා මතක ය. පොඩි උන් ටික ගේට්ටුවෙන් එළියට ගිය පසු සිනාමුසුව සිටි විදුහල්පතිතුමාට “සර් අපිත් පංතිවලට යන්නම් එහෙනම්” කියා ශේප් වී එන්නට අපට හැකිවූයේ ඔහුට විහිළුවක් සිනාසී භාර ගැනීමට හැකිවූ නිසා බව නම් ෂුවර් ය.

ඔහු, සිසුවෙක් වරදක් කළ විට අම්බානක නෙළනවා මෙන් පේන්නට වරදකාරී සිසුවා අල්ලා වටේ පිටේ බිත්තිවල හප්පා පිටට ගසා මහා කලබගෑනියක් සාදන නමුදු ඒ ගහන එකක්වත් රිදෙන්නට ගැසූ බවක් මේ වන තෙක් අසා නැත. (නමුත් ඊට හරියන්නට මාරාවේශයෙන් පහර දෙන ඇරියස් සහිත සහකාර විදුහල්පතිවරයෙක් සිටි බව ද නොකියාම බැරිය. ඔහු සිටියොත් නම් වැඩේ එහෙම ලේසියෙන් ගොඩ යන්නේ නැති ය. පාසැලෙන් ඉවත් වූ බොහෝ දෙනා තාමත් ඔහු සමග බද්ධ වෛරයකින් සිටිනා බවද ෂුවර් ය.) විදුහල්පතිතුමා අත මෙහෙක් කොට බොකුටු කර පිට මැදට ගසන පහරවල රිදීමක් නොවුණද “දබොක්” යනුවෙන් මහා හඬක් නැගෙයි. ඊට වටා පිටාවේ සියල්ලම අතිශය භීතියට පත් වී එකෙන්ම සයිලන්ට් වී යයි.

ශිෂ්‍ය නායකයකුව හිටි කාලයේ වෝනින් දෙකකට පසුවත් “කට්” එකක් කපා පාසැල් ගිය දවසක ඔෆිස් එක තුළ මා කොටු කර බැජ් ගලවා මා ඒ මේ අත විසි කර එසේ “පහර දී” ඇති කළ කලබගෑනිය දැක මොකද්දෝ සයින් කරගන්නට කියා ඔෆිස් එකට අවේලාවේ ඇවිදින් සිටි මගේ යෙහෙළියකගේ ඇසට කඳුළු ද නැගුණා මතක ය (මලිත් චංචලා වගේ සිද්දියක් නම් නොවේ). එහෙත් මා නම් සිටියේ ඒ මේ අත විසි වීමෙන් ඇති වූ තුෂ්ණිම්භූත බව හා කැටි වුණ මද බියකින් වුවද අමුතුම අන්දමේ ආතල් එකෙනි. ඇමියුස්මන්ට් එකකිනි.

මන්ද යත්, හරි හැටි රිදෙන්නට පහරක් වත් ගැහුවේ නැත්තේ ඇයි කියා මා කල්පනා කරමින් සිටි බැවිනි.

ඔහු කවදාවත් සිසුවෙක්ට රිදෙන්නට පහර දී නැති බව මා දන්නා හැටියට බොක්කෙන්ම කිව හැකි ය. වනාතමුල්ල මැගසින් පාරේ සිට අප පාසැලට පැමිණෙන දාමරික ගැටවරවියේ හුන් මැරෑටි කොල්ලෝ සෑහෙන ගණනක් ගොඩ ගියේ වරදකදී ඔහු ඇති කරන මහා කලබගෑනියෙන් සහ ඉන්පසු කියනා වචන කිහිපය හිතට වදින්නට කියන නිසා බව මට බුදු ෂුවර් ය.

කල් ගතවී ඒ ලෙවල් රිසල්ට්ස් ආ දවසේ (මා ඒලෙවල් ෆේල් ය) මා පාසැලෙන් සමුගැනීමට ඔහු හමුවීමට ගිය අවස්ථාවේ ඔහු විසින් කියන්නට යෙදුණු, මගේ ජීවිතය වෙනස් කළ කතාවක් තාමත් මා මතකයේ රැව් දේ. අවසානයට එයද මෙතනට අතහැර මෙය අහවර කර දමමි. මන්ද යත් මේ වෙද්දී මතකයට නැගෙන කෙළවරක් නොමැති රස කතා ලියන්නට ගියහොත් ඉවරයක් නැති නිසා ය.

“තමුසේ පහනක් වගේ මිනිහෙක්. තමුසේ ඒක තේරුම් අරන් වැඩ කරන්නේ නෑ. එහෙම කළානම් තමුසේ ඉන්නේ මෙතන නෙමෙයි!”

© 2015 Pamuditha Zen Anjana

විජයග්‍රහණය!

“කවුරුත් යුද්දේ දින්නේ නෑ.. මිනිස් ජීවිත දහස් ගණනක් නැති වෙන නැති කරන දෙයක් කවුරු කොහොමද දිනන්නේ?

යුද්දේ නිසා අනිත් මිනිස්සුන්ව මරපු මිනිස්සු, යුද්දේ නිසා අනිත් මිනිස්සු අතින් මැරුණු මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

යුද්දේ නිසා ජීවත් වෙන මිනිස්සු, යුද්දේ නැති නිසා ජීවත් වෙන මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

යුද්දේ පට්ට ඈතින් දැකපු මිනිස්සු, යුද්දේ හුස්මක් ළඟින් දැනුණු මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

නැත්නම් යුද්දයක් පටන් ගන්න කලින් ඉවර කරන යුද්දයක් ඇති නොවෙන්න වග බලාගන්න මිනිස්සු ද ජයග්‍රාහකයෝ?”

ඒ ලියන්නා ෆේස්බුක් එකේ දාපු ස්ටේටස් එකක්. ඕකට එක එක විදිහේ ප්‍රතිචාර ඇවිල්ලා තිබ්බා. ඒකෙන් වැඩියෙන්ම සිත් ඇදගන්නා සුළු කොමෙන්ට් එක වැටුණේ මෙහෙම.

“උබෙ තාත්ත දෙමළ ද..?”

අපේ රටේ අපේ සහෝදර මිනිස්සු ගැන කතා කරන්න තාත්තා දෙමළ වෙන්නම ඕනෙ ද? එහෙමත් නැත්නම් තාත්තා මුස්ලිම් වෙන්නම ඕනෙ ද? සිංහලයෙක්ට දාව ඉපදුණ එකෙක්ට දෙමළ එවුන් ගැන කතා කරන්න තහනම් ද? ඔක්කෝටම වඩා මනුස්සයෙක්ට දාව ඉපදිච්ච මනුස්සයෙක්ට වෙන මනුස්සයෙක් ගැන කතා කරන්න තහනම් ද?

ලියන්නාට හිතෙන්නෙම, ඒක තමා හරිම ප්‍රශ්නේ කියලා.. මේ වගේ අවුරුදු ගාණක් ඔඩු දුවපු තුවාලයක් ඇති වෙන්න හේතුවම තමා මේ හිතන විදිහ.. “උඹේ තාත්තා දෙමළ ද?” කියලා අහන එක ඇතුළෙම ඔය හැමෝම දහ අතේ හොයන දෙමළාගේ ප්‍රශ්නය තියෙනවා.. දමිළයොන්ට වෙනම පාලනයක් ඕනේ ඇයි.. ඒ කතාව ඇත්තද නැද්ද.. ඇත්ත හෝ නැත්ත වෙන්නේ කොහොමද කියන එක කරුණු කාරණා සහිතව සනාථ කරගෙන විසඳුමක් හොයාගන්න එක තමා කරන්න ඕනේ..

දැන් හදිසියේ වත් උන් ඒ කියන වෙනම පාලන කතාව ඇත්ත නම් තනි තනි පුද්ගලයන් විදිහට අපි කැමති ද ඒක දෙන්න, හෝ ඒ කතාව වැරදි නම් තනි තනි පුද්ගලයන් විදිහට උන් කැමති ද ඒක ඉල්ලා අස් කරගන්න කියන එක මත තමා යුද්දයක් ඇති වීම හෝ නැති වීම කියන කාරණාව බලපවත්වන්නේ..

එහෙම බැලුවොත් මේ යුද්දය පටන් ගත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳ කරුණු කාරණා “හරි හැටි” නොදත් අපි වගේ උන්ට මේක ඇතුළේ වාද කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..

ආයේ එන්නේ කිකිළිද බිත්තරේද මුලින් ආවේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි ද?

අපි කරන්න ඕනේ අතීතය සිහිපත් කරනවට වඩා එකිනෙකාගේ ප්‍රශ්න ගැන සංවේදී වෙන එක.. මේ රටේ “මහ ජාතිය” විදිහට හැඳින්වෙන සිංහලයට මේ පිළිබඳව තියෙන වගකීම වැඩියි.. සහෝදරත්වයේ දෑත් දික් වෙන්න පටන් ගන්න ඕනේ දකුණෙන්.. අමතක කරන්න අමාරු අතීතය අතෑරලා අනාගතයට පියවර තියන්න පටන් ගන්න ඕනේ අපෙන්.. බෝම්බ ගහලා අහිංසක මිනිස්සු මරන්න තීරණය කරපු බල ලෝභියෝ ගැන මතකය හාර අවුස්සමින් ඔඩු දුවපු තුවාලෙට බෙහෙත් කරනවා වෙනුවට ඒකට කෝටු කෑලි වලින් අනින එක නවත්තන්න ඕනා අපි.. නැවත ඔවුන්ගේ විශ්වාසය දිනාගත යුත්තේ අපි..

ඒත් අපි නොකරන්නෙම ඒක.. ඔවුන්ගේ මානුෂිකත්වය පිළිබඳව ඔවුන් පිළිබඳව සංවේදී වෙනවා වෙනුවට අපි කරන්නේ අපේ හයිකාරකම් පෙන්නන එක නෙමෙයි ද? අපේ ලොකු කම පෙන්වන එක නෙමෙයි ද? උදාහරණයක් විදිහට පහුගිය දවස් වල දෙමළෙන් ජාතික ගීය කියන්න අවසර දුන්නම ගොඩක් උන් නොසෑහෙන්න විරුද්ධ වුණා.. මෑතකදී විශ්ව විද්‍යාලයක මේක නිසා ගහ මරාගැනීමකුත් වුණා..කොටි ආයේ නැගිටිනවා කිව්වා.. ඔන්න කරලා තියෙන්නේ කිව්වා.. වෙන රටවල එහෙම වෙන්නේ නෑ කියලා පෙන්නන්න දාහක් උදාහරණ දෙන්න හැදුවා.. ඔය විරුද්ධ වුණ කී දෙනෙක් කැමති ද තියෙන ජාතික ගීයට දමිළ බසින් පේළියක් වත් එකතු කරන්න? වෙන රටවල වෙන විදිහටම ද අපේ රටෙත් වෙන්න ඕනේ? මේක වෙන වෙන රටවල උන්ගේ රටක් නෙමෙයි.. අපේ රට.. එහෙම නම් අපිට ඇයි බැරි වෙනස් කරලා පෙන්නන්න?

ආයෙමත් හිතලා බැලුවම නෑ නෑ උඹලා තාම දෙවැනි පංතියේ පුරවැසියෝ කියලා නොකියා කියන්නෙම අපි නෙමෙයි ද?

මේ එකිනෙකා පිළිබඳව සංවේදී වීම ගැන ලස්සනම කතාව කිව්වේ ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ.. පහුගිය වෙසක් දවසේ නිකුත් කළ වීඩියෝවකින් උන්වහන්සේ ඉතිහාසය සිහිපත් කරමින් වෛරය පවත්වාගැනීම නොකළ යුත්තේ ඇයි කියන එක පිළිබඳව ලස්සන පණිවිඩයක් ලබා දුන්නා.. කැමති කට්ටියට බලන්න ඒකත් පහතින් අමුණන්නම්..

ඊළඟට මේ පහතින් අමුණන්නේ පෙරකී ස්ටේටස් එකට වැටුණු තවත් කොමෙන්ට් එකක්.

“යුද්දෙ නිසා දින්නෙ ත්‍රස්තවාදයෙන් බැටකෑ මිනිස්සු. යුද්දෙන් දින්නෙ බයෙන් සහ සැකයෙන් ජීවත් වුනු මිනිස්සු. යුද්දයක් තිබ්බෙ යුද්දයක් වලක්වන්න. ඒ යුද්දෙන් දිනපු නිසා ඊට වඩා බයානක අදුරු යුද්දයකට යන්න තිබුන මං මාවත් නැති උනා . යුද්දයක් පටං ගන්නෙ නැතිව ඉන්න එකයි හොදයි නමුත් යුද්දයක් අවසන් කරන්න යුද්ද කරන්න වෙනවා . යුද ජයග්රහනය හෑල්ලු කරන්න එපා. යුද්දය නරක උනාට අද මේ නිදහස් හුස්ම විදිනෙ දෙමලත් සිංහලයත් එකම විදියට අන්න එහෙව් යුද ජයග්‍රහණය නිසා”

ඇත්තටම, යුද්දේ වළක්වන්න යුද්ද කරනවා කියන එකම විහිළුවක් කියලා අපිට නොහිතෙන්නේ ඇයි..? ඒකත් හරියට කන්‍යා භාවය රැක ගන්න සංසර්ගයේ යෙදෙනවා වගේ නෙමෙයි ද? ලියන්නාට හිතෙන විදිහට මිනිස්සු බරගාණක් මැරුණ තැනක ජයග්‍රහණයක් තියෙන්න බෑ.. නැති ජයග්‍රහණයක් හෑල්ලු කරන්නේ කොහොමද?

යුද්දයක් ඉවර කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා.. එකක් දෙපැත්තම එකඟ වෙලා යුද්ද කරන එක නවත්තන එක.. ඊළඟ එක, එක පැත්තක් සමූල ඝාතනය කරන එක.. අනෙක තමා අපි කළේ.. දහස් ගාණක් මිනිස්සු තම තමන්ගේ ජීවිතය අත ඇරලා මැරීගෙන, තුන්කාලක් මැරුවා.. කාලක් ඉතුරුවෙලා යටත් වුණා..

යුද්දේ පටන් ගත්තේ ඇයි කියලා උඹලට අපිට තාමත් හරි හැටි තේරෙන්නේ නෑ.. මොකද අපි ළඟ තියෙන්නේ “ජයග්‍රාහකයාගේ” ඉතිහාසය.. මම කියන්නේ බෝම්බ පුපුරපු මෑත ඉතිහාසය නෙමෙයි.. ඊට එපිට ඈත ඉතිහාසය කියන කෑල්ල.. යුද්දයක් ඇති වෙන්න හේතු වුණ ප්‍රශ්නේ ගැන තාම මේ රටේ මිනිස්සු හරි හැටි උනන්දුවක් නෑ.. දකුණේ එවුන් දන්න දේම නෙමෙයි උතුරේ එවුන් දන්නේ.. දකුණේ එවුන්ට උගන්නපු දේවල්ම නෙමෙයි උතුරේ එවුන්ට උගන්නන්නේ.. ඇයි මේවා දෙකක්.. දකුණේ එක විතරක් හරි කියලා තර්ක කරලා වැඩක් නෑ.. උතුරේ එක විතරක් හරි කියලා තර්ක කරලා වැඩක් නෑ.. දෙපැත්තෙම උන් කිසිම දෙයක් භාර ගන්න විවෘත නෑ.. මෙව්වා වෙනස් වෙන්න ඕනේ..

දෙමළ සිංහල දෙකේම ගොඩක් උන් හෙණ මාන්නක්කාරයි.. සමහරවිට ලංකාවේ උන්ගේ හැටියක් වෙන්න ඇති ඒක.. අනිත් එකාට කෙළ කරලා තමන් උඩ යන්න තමයි ගොන් හැතිකරේ තාම මාන බලන්නේ..

දෙමළ උන් මැරිච්ච දෙමළ උන් සමරද්දී සිංහල ගොන් හැතිකරේ කෑ ගහනවා “අන්න කොටි සමරනවා!” “ආයේ කොටි නැගිටිනවා!” අරකද මේකද කියලා(හැමෝම නෙමෙයි, ඒත් මට හිතෙන විදිහට ප්‍රතිශතයක් විදිහට වැඩියි).. සිංහල උන් හමුදාවේ මැරිච්ච උන් සමරද්දී දෙමළ ගොන් හැතිකරේ කෑ ගහනවා “අන්න මිනීමරු හමුදාව සමරනවා!” “අපේ උන්ව මරපුවා සමරනවා!” කියලා(හැමෝම නෙමෙයි, ඒත් මට හිතෙන විදිහට ප්‍රතිශතයක් විදිහට වැඩියි).. දෙපැත්තෙම උන්ට අමතකයි මේ මැරුණේ උන්ගේ රටේ මිනිස්සු කියලා..

එල්ටීටීඊ එකට බැඳුණ උන් මිනිස්සු නෙමෙයි ද? උන් මනුස්ස අම්මලට දාව ඉපදුණු ළමයි නෙමෙයි ද? උන්ගේ අම්මලට, තාත්තලට, නෑදෑයොන්ට, යාළුවොන්ට උන් මැරුණු එක සිහිපත් කරන්න බැරිද? ඒක සමරන්න බැරි ද? ත්‍රස්තවාදීන් විදිහට මැරිච්ච උන් ගැන සංවේදී වෙන්න අමාරු ඇති.. ඒත් අඩුම තරමේ උන්ගේ අම්මලා තාත්තලා, නෑදෑයෝ, යාළුවෝ ගැන සංවේදී වෙයල්ලා.. ඒ මොකක් හරි මඟුලක් නිසා මැරුණේ උන්ගේ ළමයි, නෑදෑයෝ, යාළුවෝ.. ඇයි උන්ට උන්ගේ එවුන් සමරන්න තියෙන අයිතියට තහංචි දාන්නේ?

උන් නොමග ගිය එක ගැන නොමග ගිය විදිහ ගැන, (නොමග යෑම කියලා මම අදහස් කරන්නේ ආයුධ අතට ගත්තු එක, මිනී මරපු එක) නොමග යවපු එවුන් ගැන නෙමෙයි අපි කතා කරන්නේ, අපි කතා කරන්නේ කවුද වැඩියෙන් මිනිස්සු මැරුවේ කියන එක ගැන.. එහෙම නෙමෙයි ද? මිනිස්සු වැඩියෙන් මරපු උන් හරි මිනිස්සු අඩුවෙන් මරපු උන් හරි ජයග්‍රාහකයෝ වෙන්නේ කොහොමද? දෙගොල්ලොම අන්තිමට කරගෙන තියෙන්නේ මේ රටේ තරුණ ජීවිත දහස් ගණනක් නැති කරගත්තු එක, තරුණ ජීවිත දහස් ගණනක් මරාගත්තු එක නෙමෙයි ද?

ඇයි මුන් දෙගොල්ලොන්ටම බැරි යුද්දේ නිසා මැරිච්ච දෙපැත්තෙම උන්ව සිහි කරලා දුක් වෙන්න? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයපල්ලා.. උඹලටත් මටත් විතරක් බෑ.. ඒත් අපි හොයමු.. තව උන් එකතු වෙයි.. ඒ ප්‍රශ්නෙට උත්තරේ හැමෝම දන්න, පිළිගන්න දවසට සමහරවිට ඔය කියන යුද (වි)ජයග්‍රහණය ඇත්තටම අපි ළඟ තියෙයි..

යුද්දේ දින්නා නෙමෙයි යුද්දේ ඉවර කළා.. ඇත්තටම යුද්දේ දින්නා වෙන්නේ අපි අපේ සහෝදර මිනිස්සු දිනාගත්ත දවසට..

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

පසු ලිවීම:

එකඟ කට්ටිය, කුතුහලයක් තියෙන කට්ටිය, සහෝදරත්වය හිතේ තියෙන කට්ටිය මැයි දහ නවය හවස හතරට නෙළුම් පොකුණ ගාවට ඉටි පන්දමක් අරන් එන්න.. අපි යුද්ධයෙන් දුක්විඳි, මියගිය සියලු මිනිසුන් වෙනුවෙන්, සහෝදරත්වයේ දිනය ඒකාලෝක කරමු!

සිනමාතල්

~ තමන්ගේ තාත්තාට හෘදයාබාධයක් ඇති වීම නිසා පුළුවන් ඉක්මණට ඔහුව රෝහල වෙත ගෙන යාමට චිත්‍රපටයේ වීරයා හෙවත් ‘කොල්ලා’ ට වුවමනා වේ.

  • හොලිවුඩ් සිනමාව

වහා ක්‍රියාත්මක වී ඇම්බියුලන්ස් එකකට කෝල් එකක් දෙන කොල්ලා, විනාඩි කිහිපයකින් එතැනට පැමිණෙන ඇම්බියුලන්ස් එකේ දමාගෙන තාත්තාව රෝහලට රැගෙන යයි. අතරමගදී ඇම්බියුලන්ස් එක ගමන් කරන මාර්ගය බරාස් ගා හදිසියේ පැළී ගැඹුරු විවරයක් ඇති වෙයි. රියදුරා අසීරු බ්‍රේක් පහරකින් අනතුරුව රථය නවත්වා ගනියි. මොහොතකින් නුදුරු අහසේ මෙතෙක් වෙලා කැමෆ්ලජ් වී තිබූ පාවෙන පීරිසියක් මතු වේ. ඉන් ගොඩ බසින පිටසක්වළ ජීවීන් මිනිසුන් හා ගොඩනැගිලි විනාශ කරමින් පෘථිවිය ආක්‍රමණය කිරීම අමෙරිකාවෙන් පටන් ගනී.

එතැනට හතර වටින් පැමිණෙන පොලිස් රථ හා යුධ හමුදා රථ පිටසක්වළයන් වටේට හිඳ වෙඩි තබන්නට පටන් ගනී. පිටසක්වළයන්ද ඔවුන්ගේ අද්භූත විනාශකාරී ආයුධ වලින් ප්‍රතිප්‍රහාර එල්ල කරයි. ඒවා පාවෙන පීරිසිය අසළදී ආපසු හැරවී පොළව වෙත් විත් අසළ වූ ගොඩනැගිලි වලට වදියි. කඩා වැටෙන විසල් කොන්ක්‍රීට් කුට්ටි වලට යට වී සාමාන්‍ය මිනිසුන් මිය යයි. මිනිසුන් විලාප තබමින් කෑ ගසමින් හිස් ලූ ලූ අත දිව යයි. අවටින් පැමිණෙන ගුවන් හමුදා ප්‍රහාරක යානා පාවෙන පීරිසියට මිසයිල ප්‍රහාර එල්ල කරයි. ‘කොල්ලා’ තවමත් ඇම්බියුලන්ස් එකේ ය. තාත්තා සමග තරමක් හාස්‍යජනක, එහෙත් සංවේදී කතා බහක් ඇති වෙයි. ලොව බේරාගන්නට හැකියාව ඇත්තේ කොල්ලට පමණක් බවත් ඊට නොබියව ඉදිරිපත් වන ලෙසත් තමාට කිසිවක් නොවන බවත් පවසන තාත්තා කොල්ලා දිරිමත් කරයි.

මද සිනහවක් නගන කොල්ලා ඇම්බියුලන්ස් එකේ ඇළ වී සිටින තාත්තා වැළඳගෙන සිනහවක් සහිතව ඉන් එළියට බසියි. ඊට නුදුරින් සිටින පිටසක්වළයෙක් එය දැක කොල්ලට වෙඩි තියයි. ඉංග්‍රීසි කුණුහරුප කිහිපයක් කියන කොල්ලා බඩ පිනුමක් ගසා අසළ වූ වාහනයකට මුවා වෙයි. අසළ වෙඩි වැදී වැටී සිටින හමුදා නිලධරයෙක්ගේ තුවක්කුවක් ගන්නා ඔහු පිස්සුවෙන් වාගේ පිටසක්වළයන්ට වෙඩි පිට වෙඩි තබයි. තබන තබන වෙඩි පහරට සක්වළයෝ උන් උන් තැන්වල මැරී වැටෙයි. එය දකින දුෂ්ටයා හෙවත් හොරා, (**මේකේ හොරා පිටසක්වළයෙක් බව සළකන්න) කොල්ලා දෙස කෝපයෙන් බිහිසුණු බැල්මක් හෙළා ඔහු සිටින දෙසට බිල්ඩින් කුඩු පට්ටම් කරගෙන මිනී මරාගෙන සක්වළයන්ද මරාගෙන දුව එයි. හොරා එල්ල කරන වෙඩි පහරකින් අසළ තිබෙන ඇම්බියුලන්ස් එක පුපුරා කුඩු පට්ටම් වෙයි.

කොල්ලා ඉංග්‍රීසියෙන් දම්සාරීඊඊඊ කියා කෑගසයි. (**ඉංග්‍රීසි බසින් දම්සාරී යන්න ඇසෙන්නේ “නෝ” කියා ය.) තාත්තා මැරූ තරහින් වියරු වැටෙන කොල්ලා අසළින් දුව එන සක්වළයෙක්ට මූණ නාළු වෙන්නට පහරක් එල්ල කර ඌගේ ආයුධය ගෙන හොරා ට වෙඩි පිට වෙඩි තබයි. එහෙත් හොරා දරුණු එකෙකි. ඌට වදින වෙඩිල්ලක් නැත. දුව එන හොරා කොල්ලා උස්සා පොළේ ගසයි. ඉන්පසු භයංකර ද්වන්දව සටනක් ඇරඹෙයි. කොල්ලා අම්බානක ගුටි කයි. ඉන් අමාරුවෙන් ගැළවෙන ඔහු ගොඩනැගිලි අතරින් දුව විත් අසළ වූ බිත්තියකට මුවා වෙයි.

මේ අතර අසළින් පණ බේරාගන්නට දුවන ඇහැට කණට පේන කෙල්ලෙක් ද එතැනටම පැමිණ ඒ බිත්තියටම මුවා වෙයි. ඈතින් එන හොර පිටසක්වළයා කොල්ලා සොයමින් එතැනට විටින් විට වෙඩි තබයි. කොල්ලා “ෂික් මූට වෙඩි තිබ්බට මැරෙන්නෙම නෑ නේ!” කියා කුණුහරුප කිහිපයක් සමග ඉංග්‍රීසියෙන් කියයි. එවිට එතැනම මුවා වී සිටින කෙල්ල සක්වළයාගේ බුරිය මැදට වෙඩි තැබූ විට ඌට ඩැමේජ් වන බව පවසයි. කොල්ලා විශ්මයට පත්වන අතර කෙල්ල තමන් හට මැරුණ සක්වළයෙක් අධ්‍යයනය කරන්නට හැකි වූ බව පවසා ඒ විශ්මය දුරු කරයි. කෙසේ හෝ දරුණු සටනකින් අනතුරුව කොල්ලා බුරියට වෙඩි තබා හොර පිටසක්වළයා මරා දමයි. පිටසක්වළ ලොක්කා මිය යනු දකින අනිත් පොඩි පොඩි සක්වළ බච්චෝ සියල්ල අකුළාගෙන “නැවත එන” බව කියා පීරිසියට නැගී මාරු වෙයි.

කැඩුණු බිල්ඩිමක් අසළ නැවැත්වූ ඇම්බියුලන්ස් එකකට බරව කෙල්ල සමග සුහද කතා බහක යෙදෙන කොල්ල ඇයව සිප ගනී. අසළ සිටින වෛද්‍ය සේවකයන් ඔහුගේ අතෙ සුළු තුවාල කිහිපයකට බෙහෙත් දමයි. හදිසියේම ඇම්බියුලන්ස් එක තුළින් තාත්තාගේ කටහඬ ඇසෙන අතර, පසුව බලද්දී කලින් විනාශ වී ඇත්තේ වෙනත් ඇම්බියුලන්ස් එකක් බව කොල්ලා දැනගනී. සියල්ලෝම සතුටින් සිනහ වේ.

  • ප්‍රංශ සිනමාව

කොල්ලා ඇම්බියුලන්ස් එකේ තාත්තා දමාගෙන රෝහල වෙත රැගෙන යන අතර අතරමගදී බයික් වලින් පැමිණෙන කළු හැඳගත් පුහුණු මැරයෝ ඇම්බියුලන්ස් එක වට කරයි. හැඳ සිටින ජැකට් වලින් ස්වයංක්‍රීය අවි එළියට ගන්නා ඔවුහු ඇම්බියුලන්ස් එකට වෙඩි තබයි. වේගයෙන් වාහනය එළවන්නට රියදුරාට කෑ ගසන කොල්ලා තමාගේ කකුලේ සඟවා තිබූ රිවෝල්වරයක් ගෙන නාඳුනන තුවක්කු කරුවන්ට පෙරළා වෙඩි තබයි. ඇම්බියුලන්ස් එකේ අයින් දොරක් විවර කරන ඔහු එහි වූ ඔක්සිජන් ටැංකියකින් ළඟම එන බයික් එකට පහර දෙයි. බයික් කරු පාලනයෙන් ගිලිහුණු බයික් එකද සමග වේගයෙන් ගොස් අසළ නවත්වා තිබූ කුණු ලොරියක ගැටෙයි.

හදිසියේ රථයේ වහළයෙන් ඇතුළට වෙඩි පහරවල් පිට පිට එල්ල වෙයි. වැඩ කෑල්ලක් දමා අධි වේගයෙන් ධාවනය වන ඇම්බියුලන්ස් එකේ වහළයට නැගගන්නා කොල්ලා ඒ මත සිටිනා හොරෙක් සමග විසිල් නැති වැඩකෑලි කරණම් බල්ටි හා කුංෆු වූෂූ අංගම් පොර ඇතුළු බිහිසුණු වේගවත් සටන් ක්‍රම යොදාගනිමින් වහළය මත සිට සටන් කරයි. රථයට ළං වන බයික් කරුවෙක් අයිනේ දොරෙන් ඇම්බියුලන්ස් එකට ඇතුළු වෙයි. වහළය උඩ සිටින හොරාට සටාස් ගා අපර් කට් පහරක් එල්ල කරන කොල්ලා අයිනේ දොරේ එල්ලී කරණමක් ගසා ඇතුළේ සිටින බයික් කරුවාට අනික් පස දොර ගළවාගෙන එළියට විසි වන්නට පහරක් එල්ල කරයි. වැරදීමකින් අත වැදී ඇම්බියුලන්ස් එක ඇතුළත තිබෙන තරමක් විශාල පෙට්ටියක් වැනි යමක් විවර වේ. ඒ තුළ තිබෙන කාල බෝම්බයක් දකින කොල්ලා කලබල වෙයි. මේ අතර තව වාහනයක්ද දෙපසින් එළවා එන බයික් කරුවන්ට එකතු වෙයි. ඔවුහු විටින් විට වෙඩි තබමින් ඇම්බියුලන්ස් එක හප්පයි.

වේගයෙන් පාර පුරා ධාවනය වෙන වාහන කිහිපයට පොලිස් රථ කිහිපයක්ද එක් වෙයි. ඉන් එකක සිටින පොලිස් නිලධාරිනී කෙල්ල වැඩකෑලි දමා හොරුන්ට වෙඩි තබයි. බිහිසුණු වෙඩි ප්‍රහාර හා හැප්පිලි මගින් වාහන හා ගොඩනැගිලි විනාශ වී යයි. හදිසියේ ඇම්බියුලන්ස් එකේ රියදුරාට වෙඩි වදියි. වහා ක්‍රියාත්මක වන කොල්ලා ඔහුව එහා සීට් එකට දමා රථය පදවන්නට ගනියි. හානි සිදුවූ ඇම්බියුලන්ස් එක අසීරුවෙන් පාලනය කරගෙන එය රෝහලට දෙසට රැගෙන යන අතර විටින් විට පැමිණෙන බයික් කරුවන් හා සටන් කරන්නට කොල්ලාට සිදු වෙයි. කෙසේ හෝ ඔවුන් මග හැර රෝහල් පරිශ්‍රයට ඇතුළු වෙන ඔහු තාත්තා හා රියදුරා එතැන දමා රෝහලේ සේවකයන්ට කෑ ගසයි. දුව එන රෝහලේ සේවකයන් තාත්තා හා වෙඩි කෑ රියදුරු ඇතුළට රැගෙන යනවාත් සමගම එතැනට පැමිණෙන බයික් කරුවන් එදෙසට වෙඩි තබයි.

කරණම් ගසා අසළ වූ බිත්තියක් මත ඇවිද බයික් කරුවෙක්ට පහර එල්ල කරන කොල්ලා තුවක්කුවක් රැගෙන අනික් පසින් පැමිණෙන වාහනයට වෙඩි තබයි. මේ අතර ඇම්බියුලන්ස් එකට රිංගූ බයික් කරුවෙක් බෝම්බය රැගෙන දුවන්නට ගනියි. කොල්ලා ඒ පසු පස එළවයි. එතැනට පැමිණෙන පොලිස් රථයකින් බිමට බසින පොළිස් නිලධාරිනී කෙල්ල ද ඔවුන් පසු පසින් දුව යයි. බෝම්බය රැගත් බයික් කරුවා රෙස්ටෝරන්ට් එකක් ඇතුළට දිව යයි. කෑම හදන ස්ථාන අස්සෙන් ඔහු පසු පස දිව යන කොල්ලාට තවත් මැරයන් සමග සටන් කරන්නට වෙයි. බයික් කරුවා පඩිපෙළක් දිගේ ගොඩනැගිල්ලේ වහළයට ගොඩ වී වහළයෙන් වහළයට වැඩකෑලි දමමින් කරණම් ගසමින් පනිමින් දුවන්නට ගනියි. කොල්ලාද ඊට නොදෙවෙනි ලෙස ඔහු පසු පස වහළයෙන් වහළයට පනිමින් හඹා යයි. පැනගන්නට නොහැකිව ප්‍රංශ බසින් කුණුහරුප කියන කෙල්ල වීදි අතුරින් උඩ බලමින් ඔවුන් පසු පස හඹා එයි.

අවසානයේ වහළයක් උඩ ත්‍රාසජනක සටනකට පසු හොරා වහළයෙන් වැටෙන්නට යයි. කොල්ලා බෝම්බයෙන් අල්ලාගෙන ඔහු වැටෙන එක වළක්වයි. එහෙත් වියරුවෙන් සිනාසෙන හොරා ටටා කියා ප්‍රංශ බසින් කියා බෝම්බය අතහරියි. උස ගොඩනැගිල්ලෙන් බිමට වැටෙන හොරා මියයයි. එතැනට එන කෙල්ල තමාගේ වෝකි ටෝකි එකෙන් බෝම්බ නිශ්ක්‍රීය අංශය හා සම්බන්ධව බෝම්බය නිශ්ක්‍රීය කරන්නට කොල්ලට උදව් කරයි. ත්‍රාසජනක මොහොතකට පසු බෝම්බය නිශ්ක්‍රීය කරයි. ඔවුන් සතුටින් උඩ පනින අතර බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද ප්‍රීති ඝෝෂා නගයි. කොල්ලා පසු දිනෙක පොලිස් කෙල්ලගේ අතින් අල්ලාගෙන රෝහල්ගත කළ පියා බලන්නට යයි.

  • දකුණු ඉන්දියානු සිනමාව

පැයකට පමණ පසුව එන ඇම්බියුලන්ස් එකට තාත්තා දමාගන්නා කොල්ලා තාත්තා මැරුණාක් සේ හඬමින් පොළවේ හැපෙන අහළ පහළ මිනිසුන්ගෙන් අසීරුවෙන් ගැළවී රෝහල වෙත යන්නට පිටත් වෙයි. තත්පර කිහිපයකින් ඇම්බියුලන්ස් එක ට්‍රැෆික් එකේ හිර වේ. කෙසඟ සාමාන්‍ය තරුණයක් වන කොල්ලා එළියට බසියි. ඒ වෙලාවේම එතැනට පැමිණෙන මැරයෝ පිරිසක් ඔහුට පහර දෙන්නට සැරසෙයි. මැරයන්ට උපහාසාත්මක ‘පන්ච් ලයින්’ සහිත කතාවකින් පොඩි ‘සද්දයක්’ දාන ඔහු තනිව ඔවුන් හා සටන් කරයි. වට පිටාවේ මිනිසුන් රැස්වී ඒ දෙස මුව අයා බලා සිටියි. කෙසඟ කොල්ලා තඩාර සයිස් මැරයන්ට වාහන හෙළවී වැටෙන්නට පාරේ කඩ සාප්පු කුඩු වෙන්නට අඩි සීයක් දෙසීයක් විසි වී යන්නට තරම් තදින් කෝපයෙන් පහර දෙයි. හදිසියේම එතනට හොරා (**බොහෝ විට හොරා දූෂිත දේශපාලනඥයෙක් වීමට ඇති ඉඩ වැඩිය.) අඳුරු කණ්ණාඩි සහිත ජීප් රථයකින් පැමිණෙයි. කොල්ලා අවසාන මැරයාටත් පහර දී ‘ලොකු සීන් එකෙන්’ හොරා දෙස බලයි.

හොරා වියරු ලෙස සිනහ සී අසුරු ගසයි. ජීප් රථයෙන් මැරයෝ විසි පහක් විතර බිමට බසියි. අවටින් ආයුධ රැගත් තව මැරයන් පැමිණෙයි. කෙල්ල ජීප් රථයෙන් බිමට බසින මැරයන් දෙදෙනකු අතරට මැදිව අසරණ වී සිටියි. මැරයෝ වියරු සිනහවකින් ඇයගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කරයි. කෙල්ලගේ බෙල්ලට පිහියක් තබා තිබෙනු දුටු කොල්ලා කෑ ගසා ලොකු සීන් දාන්නට යයි. හොරා කෙල්ල අසළට ගොස් දැඟලුවොත් මරා දමන බව ලොකු සීන් එකෙන් පවසයි. කොල්ලා අසරණව අඩපණ වෙයි. වටෙන්ම එන මැරයෝ ඔහුට බිම වැටෙන තුරු පහර දෙයි. කෙල්ලට කරදරයක් වේ යැයි සිතා කොල්ලා කිසිවක් නොකර අම්බානක ගුටි කා නහයෙන් කටින් ලේ දාගෙන සිහි නැති ව බිම ඇද වැටෙයි. හොරා කෙල්ල ඇදගෙන යන්නට හදයි. ඇය කොල්ලාගේ නම කියා දුක්ඛිත ලෙස විලාප නගයි.

ඒ විලාප ශබ්දයට කොල්ලා ඇස් අරියි. විගස දුහුවිලි අවුස්සාගෙන නැගී සිටියි. ඒ ශබ්දයට පසුපස බලන හොරා විශ්මයට පත් වෙයි. මැරයන්ට පහර දෙන්නට සන් කරයි. කෑ ගසමින් ආයුධ අමෝරා දුව එන මැරයන් දොළහකට පමණ දෙන එක පහරකින් දොළොස් දෙනාම විසි වී අඩි සියයක් එහා තිබෙන තාප්පයක් පෙරළාගෙන බිම වැටෙයි. කොල්ලා අසළ ඇම්බියුලන්ස් එකේ බෆර් එක මහ දවල් පාර මැද ගලවා ගෙන ඉන් දෙකේ දෙකේ සයිස් දරුණු පෙනුමැති මැරයන්ට පහර දෙයි. හොරා සමග දරුණු සටනකින් අනතුරුව කොල්ලා ජය ලබයි. හොරා අවාසනාවන්ත ලෙස මිය යයි. කෙල්ල කොල්ලා වෙත දුව විත් තුරුළු වී කඳුලු සළයි.

වට වී සිටින මිනිසුන් ඔල්වරසන් සහ අත්පොළසන් මගින් කොල්ලා පසසයි. ඒ අතර ඇම්බියුලන්ස් එක පැත්තෙන් කොල්ලාගේ පියා කෙඳිරි ගානවා ඇසෙයි. කලබල වෙන කොල්ලා වට පිට බලයි. ට්‍රැෆික් එක තාම එසේම ය. වහා ක්ෂණිකව ක්‍රියාත්මක වෙන කොල්ලා ඇම්බියුලන්ස් එකේ වහලය මතට නැග වට පිට මිනිසුන්ගේ ලොමු ඩැහැ ගැන්වෙන ලෙස කතා කරයි. මිනිසුන්ද ඊට ඔල්වරසන් දෙයි. ඒ කතාවේ අවසානයට ඉතාම සංවේදී ලෙස තමන්ගේ පියාට වී තිබෙන අකරතැබ්බය ගැන පවසද්දී වටේ පිටේ එක් රැස් වුණු ජනතාවගෙන් එක් අයෙක් පැමිණ රෝගී පියා ඇම්බියුලන්ස් එකෙන් එළියට ගනියි. විගස සංවිධානය වෙන ජනතාව පාර දිගට අත්වැලක් සාදා රෝගී පියා අතින් අත රෝහල වෙත මාරු කර යවයි. කොල්ලා කඳුළු පිරුණු දෙනෙත පිස දමාගෙන සිනාසී කෙල්ලව තුරුළු කරගනී.

  • බොලිවුඩ් සිනමාව

දකුණු ඉන්දියානු සිනමාවට බොහෝ දුරට සමාන වන අතර වෙනස් වන්නේ කොල්ලා මදක් හැඩි දැඩි සුදු ලස්සන සල්ලි තියෙන කොල්ලෙක් වීම හා සටන් කරන ස්ථාන හා අනෙක් දේවල් මදක් වෙන්ඩ පොෂ් අලංකාරවත් ලුක් එකක් ගැනීම පමණක් බව සළකන්න.

© 2015 Pamuditha Zen Anjana

එන්න අපි රටට වැඩ කරමු!

පසු දිනෙක සමීප සගයන් කිහිප දෙනෙකු සමග පවත්නා වාතාවරණය පිළිබඳව කතා කරත් දී වැටහුණු කාරණා කිහිපයකි. ඒවා ඔබටත් වැදගත් වේ යැයි සිතන නිසාවෙන් මෙසේ සටහන් කර තබන්නෙමි.

පළමුවෙන්ම;

මහින්ද රාජපක්ෂ මිනිසුන්ට පරාජය වුණේ ය. යුද්ධය දිනවීමට රට මෙහෙයවූ නායකයා නොව, මෙතෙක් කල් මිනිසුන් පාගා දමමින් තම මනෝ රාජික ෆැන්ටසි සියල්ල ඔවුන්ගේ ලේ, කඳුළු, බඩගින්න මතින් ගොඩනගමින් හුන් මහින්ද රාජපක්ෂ මිනිසුන් අතින් පරාජයට පත් වී ය.

ඒ සමගම වූ දෑ කිහිපයකි. අයුතු ලෙස භාවිතා වෙමින් තිබූ බලය ඔහු අතින් වෙනත් අතකට හුවමාරු වුණි. (හුවමාරු වූ අත ගැන පසුව කතා කළ යුතු ය. එහෙත් ඊට වේලාසන වැඩිය.) රටේ උතුරු, නැගෙනහිර ජීවත් වූ ජනයා තම ඡන්ද බලය පාවිච්චි කිරීම නිසාවෙන් උරණ වූ ජාතිවාදී මහින්ද පාක්ෂිකයෝ කටකතා යවමින් ඩෙඟා නටන්නට වූ හ. රටට වැඩ කරමු කියා පෙරට ආ සියල්ලෝම අතුරුදන් වූ හ. අපේ සංවේදී නායකයාගේ සංවේදී අනුගාමිකයන් “මරලා හරි ගත්තේ නැත්තේ ඇයි?” කියා ඇසූ හ. ජාතිය බේරාගත් නායකයා යැයි විරුදාවලි ලත් මහින්ද රාජපක්ෂ තව දුරටත් තමන්ගේ මෘග දේශපාලනය මේ යැයි පසක් කර දෙන්නට “ප්‍රජාචන්චරවාදය” ගැන බයිලා ස්වල්පයක් ගසා “සිරිසේන දින්නේ ඊලාම් ඡන්ද වලින්” යැයි විළි ලජ්ජාවක් නොමැතිව ජනතාව ඉදිරියේ කීවේ ය.

දෙවනුව;

මෛත්‍රීපාල සිරිසේන දින්නේ අති විශාල ඡන්ද ප්‍රතිශතයකින් නොවේ ය. මෙහිදී පරහකට ඇත්තේ ද එයම ය. මහින්ද රාජපක්ෂ දැන් ඔහුගේ අනුගාමිකයන් අවුස්සමින් සිටියි. පහත් මට්ටමේ ඡන්ද ගුණ්ඩු දමා, නරුම ජාතිවාදය අවුස්සා, ලේ හළා හෝ බලය රැක ගැනීමට ඔහු දත කයි. ඔහුගේ පමණක් නොව, විමල් වීරවංශගේ, නිමල් සිරිපාලගේ ඡන්දෙන් පසු කළ කතා වල ඊට උදාහරණ ඕනෑ තරමක් දැකිය හැකි ය. මේ බලයට කෑදර පෙරේතයෝ ය. එසේත් නැත්නම් බලයට ඇබ්බැහිවූ අසරණයෝ ය. කුඩු වලට ඇබ්බැහි වූවෝ කුමක් හෝ කර කුඩු සොයන්නාක් මෙන්, මොවුහු කුමක් හෝ කර බලය ලබාගන්නට තැත් කරති. දූෂිත දේශපාලනයෙන් මිදෙන්නට නම් ඔවුන් පුනරුත්ථාපනය කළ යුතු ය. ඔවුන් එළවා දමා, අලුතින් හිතන, අදහස් වලට ඉඩ දෙන, නිවරදිව වැඩ කරන, හොරකම් නොකරන අය මීළඟ මහ මැතිවරණයේ දී පත් කරගත යුතු ය. ඒ බලය ඇත්තේ අලුතින් පත් වූ “පුරවැසියන්” වන (මෙතෙක් කල් බොහෝ දෙනා තමා යටත්වැසියන් ලෙස වරදවා සිතා සිටි බව ලියන්නාට මතක ය,) ඔබ අප අතේ ය. නිවරදි තීරණ ගතහොත් එහි ලොකු අවුලක් වන එකක් නැත.

ඊළඟට;

මෙතෙක් කල් රටට වැඩ කරන්නට හඬ ගැසූ කට්ටියට කුමක් වූයේ ද කියා සොයා බැලිය යුතු ය. ඔවුන් ඇත්තටම රටට ආදරේකට එසේ කීවා නම්, හුදෙක් නායකත්වයක් වෙනස් වූ පමණින් ගුහා වලට වී සැඟව හිඳින්නේ නැත. තමන්ගේ සක්‍රීය දායකත්වය රට හැදීමට යොදවන අයෙක් එසේ පළා යන්නේ නැත. එසේ නිවරදි, යහපත් වුවමනාවකින් සිටි අයෙක් මෙවන් අවස්ථාවක කරන්නේ, රට හැදීමට තමා හොඳ යැයි සිතන කරුණු කාරණා, අදහස් උදහස් සියල්ල පත්වුණු නායකත්වය වෙත යොමු කර. තමා පවත්නා නායකත්වයේ වැඩ පිළිබඳ අවධානයෙන්, අවදියෙන් සිටින බව පවසා, රට වෙනුවෙන් සිදු කෙරෙන ඕනෑම කටයුත්තකදී තමාගේ සහය ද, රට වනසන්නට යන්නේ නම් ඊට තමාගේ උපරිම විරෝධයද තිබෙන්නේ යැයි කියා පෑම ය.

එහෙත් මෙසේ කියූ බොහෝමයක් දෙනා අවස්ථාවාදී, කුහකයන් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. රට හදන්නට යැයි කියා රටටම පේන්නට රාජපක්ෂට කඩේ ගිය අයවළුන් දැන් සොයාගන්නටවත් නැත්තේ ඒ නිසා බව ලියන්නාගේ පුද්ගලික අදහසයි. ඒ පිළිබඳ සොයා බලා ඔවුන් කවුද යන්න තීරණය කිරීම කියවන ඔබට භාර ය.

අවසානයට;

කොටි (මින් ඔවුන් අදහස් කරන්නේ දමිළ ජනයා බව පිළිකුළෙන් සළකන්න.) ඡන්ද වලින්, මුස්ලිම් ඡන්දවලින් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළා, මුන් රට බෙදන්නට යනවා යැයි කියන “සිංහල බෞද්ධ” කියාගන්නා අයට කියන්නට යමක් තිබේ.

ඔය උතුරු නැගෙනහිර ඡන්ද ටික අයින් කළද මෛත්‍රීපාල සිරිසේන පැහැදිලි ජයක් ලබා තිබේ. ඔබලාට වුවමනා දේ ඔබලාට නොතේරී වුවද සිදු ව තිබේ. රට බෙදන්නට අවශ්‍ය වන්නේ සියල්ලන්ටම සමාන අයිතිවාසිකම් නැත්තේ නම් පමණි. රට නොබෙදෙනවා යන්නෙහි වක්‍රාකාර අදහස නම් උතුරු නැගෙනහිර සියල්ලන්ටම පුරවැසියන් වශයෙන් සමාන අයිතිවාසිකම්, වරප්‍රසාද ලැබීමයි. එවිට රට නොබෙදී සියළුම දෙනාට එකමුතුව සිටීමේ වාතාවරණයක් සැළසෙනු ඇත.

මෙහිදී සිදු ව ඇත්තේ ද එය නොවේද යන්න ඔබ ඔබේ සිතට තට්ටු කර අසා බලන්න. කේ.පී. කරුණා අම්මාන් වැනි කොටි ත්‍රස්තවාදීන් රක්ෂා කළ රාජපක්ෂට එරෙහිව උතුරු නැගෙනහිර අපේ මිනිස්සු තම ඡන්ද බලය පාවිච්චි කළ හ. අනෙක් අතට කවදාවත් නොවූ පරිදි “සිංහල බෞද්ධ” නායකයෙක් අවුලක් නැති යයි ඔවුන් නොකියා කියා තිබේ. මෙය ඉතාම ප්‍රගතිශීලී තත්වයක් බව ලියන්නාට පුද්ගලිකව හැඟේ. මන්ද යත් මෙසේ ඡන්දය පාවිච්චි කිරීමෙන් ඔවුහු, තමන්ට ද නිදහස් රටක ජීවත් වන්නට අවැසි බව හඬගා ප්‍රකාශ කර තිබේ. එයට අප ඔබ ගරු කළ යුතු ය. ජය පරාජය සමව භාර ගැනීමට සැවොම සූදානම් විය යුතු ය.

කරුණාකර මෙතැන් පටන්, බලයේ කෑදර කමින් උන්හිටිතැන් අමතක වී වියරුවෙන් කෑ ගසන මහින්ද රාජපක්ෂ නම් නරුම දේශපාලකයා වෙනුවෙන් වේදිකාවක් තනා දීමෙන් වළකින්න. ඔහු මේ කරන්නේ ඔබ ලවා කොස් ඇට බාවන්නට උත්සාහ කිරීමයි. පෙරදී රාජ්‍ය බලය, යුධ හමුදාවේ බලය, විශේෂයෙන්ම බොහෝ මාධ්‍ය වල බලය ඔහු අතේ තිබුණු නමුත් දැන් සිටින්නේ ඒ කිසිවක් නොමැතිව යන්නට පාරක් සොයන පරාජිතයෙකි. ඔහුට පාර තනා නොදෙන්න.

සෝෂල් මීඩියා වලින් ඔහු පරදන්නට දුන් අවධානය දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත හරවන්න. ඔහුගේ වැඩ කටයුතු පිළිබඳ අවධානය යොමු කරන්න. ඔහු වැඩ කරන්නේ කෙසේ ද, දුන් පොරොන්දු ඒ අයුරින් රකිනවා ද, ඉදිරි වැඩ පිළිබඳ ඔබේ අදහස් මොනවා ද, රට හදන්නට ඔබට දායකත්වය දිය හැක්කේ කෙසේ ද යන කාරණා වලට ඔබේ සම්පූර්ණ අවධානය යොමු කරන්න. වැරදි තැන දී නොබිය ව හඬ නගන්න. නිවරදි තැන දී පසසන්නට අමතක නොකරන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නිවරදිව වැඩ කරන තාක්කල් අර පරාජිත උම්මත්තකයාට කළ හැකි ලබු කැටයක් නොමැත. අපි නිරන්තරයෙන් අවදියෙන් අවධානයෙන් සිටිමින් මෙය ගොඩ නගන්නට සක්‍රීයව දායකත්වය දෙන්නට ක්‍රියා කරමු!

කරුණාකර මෙය වටහාගන්න. පැරදුණේ සිංහල බෞද්ධ ඔබ නොවේ. පැරදුණේ ඔබ කොටවන්නට, කොටවා තමාගේ බලය රැකගන්නට වියරුවෙන් දඟලන රාජපක්ෂ ය. ඔබ ඇත්තටම සතුටින් ඉපිළිය යුතු ය.

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

රට වෙනුවෙන් අට පාවිච්චි කරමු!

පළමුවට.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

දෙවනුවට.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

තෙවනුවට ද.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

මෛත්‍රී පාලනයේ අඩුපාඩු ඉන්පසුව විසඳාගත හැකි ය.

පවත්නා දූෂිත තුප්පහි පාලනය හැකි ක්‍රමයකින් වෙනස් කළ යුතු ය. ඉන්පසු පත්වන නව පාලනය දූෂිත එකක් නම් එයටද මේ සන්තෑසියම අත් කළ දිය යුතු ය. මෙය අටවෙනිදායින් අවසන් වන්නට නියමිත සටනක් නොවේ. දූෂිත පාලනය නැති බංගස්ථාන කොට මිසක අපි නොනවතිමු. මහින්ද වේවා මෛත්‍රීපාල වේවා අනෙකෙක් වේවා, දූෂකයාට දූෂකයා හැර “අහිංසක කුක්කු පැටියා උයා ඕනි දෙයක් කළාට කමක් නෑ මගේ මැණික උයා යුද්දේ දින්නනේ චූටි පැටියෝ” කියන්නට, එසේ කියමින් දෙකට නැවී තව දුරටත් කළගුණ සළකන්නට මේ රටේ යටත් වැසියන් නොවන “පුරවැසියන්” වන අපි කිසිසේත් ම සූදානම් නැත.

නිදහස් පක්ෂය කැඩෙන්නට හේතුව ඔය ඉන්න අයට සැළකුවේ නෑ කියන කාරණාව බව අපි දනිමු. ඔය එන කාටත් රට ගැන හැඟීමක් කියනා තරම් විසල් හැඟීමක් නැති බැව් ද අපි දනිමු. එහාටයි මෙහාටයි පැන පැන රජපස්සගේ දූෂණ වංචා වලට උඩ ගෙඩි දීගෙන කටයි අහවල් එකයි වහගෙන අවස්ථාවක් එනකම් සිටියා විනා සද්දයක්වත් නොකළ බව, වචනෙකින් වත් විරුද්ධ නොවූ බැව් අපි දනිමු.

එසේ වුව ද, දැන් රජපස්සගේ ආතල් කුඩු කරන්නට අවස්ථාවක් එළඹ ඇත. මෙච්චර කල් ඇරපුවට හරියන්න කණේ පාරක් දෙන්නට, මෙතෙක් කල් ඔබේ ඉවසීමෙන් අයුතු ප්‍රයෝජන ගත් මේ දූෂිත දේශපාලකයාට අතුල් පහරක් දෙන්නට ඔබට අවස්ථාවක් එළඹ ඇත.

මෛත්‍රීපාලගේ පැනිල්ලට, මෙතෙක් කල් බයට (රජපස්ස උත්තමයෝ බය කරපු නිසා) වැහිලා තිබ්බ කටවල් විවර වන්නට, අඩු කර දමා පාගා දමා තිබූ හඬ අවදි වන්නට පටන් ගත්තේ පුදුමාකාර වේගයකිනි. ඉස්සර ත්‍රීවීල් එකක යද්දී හොරෙන් හොරෙන් කුණු කුණු ගා බැණපු බැණිලි වෙනුවට පොඩි මිනිහගේ පටන් සියළුම දෙනා ප්‍රසිද්ධියේ කතාකරන්නට බණින්නට පටන් ගත්හ. මේ රටේ අමතක කර දැමුණු මිනිස්සු නිදහසේ කතා කරන්නට අදහස් ප්‍රකාශ කරන්නට ගත්තේ මෛත්‍රීගේ පැනිල්ලට ඇහැරවී කිව හොත් එය නිවරදි ය. අට වෙනිදට ක්‍රියාත්මක වනවාට රජපස්සලා බය ඔන්න ඔය සත්‍යයට ය. රටේ නැති බොරු ගොතන්නේ ඒ නිසා බව පැහැදිලි කාරණාවකි. පෙර ද ඔහු විසින් විකුණන්නට යෙදුණේ මිනිස්සුන්ගේ බය වන අතර අදත් විකුණන්නේ එයම ය.

පාරවල් හැදුණා ඇත්ත ය. සංවර්ධනය කියා එක එක එව්වා වුණා එය ද ඇත්ත ය. එහෙත් මේ රටේ අපේ සහෝදර මිනිස්සු බොහෝ දෙනා ඒ සංවර්ධනය නිසාම දුක් විඳිති. අප බොහෝ දෙනා අමාරුවෙන් වුව ද ගැටගහගෙන, රෝල ගහගෙන ‘කාලා ඇඳලා’ ජීවිතය ගත කරන බව ඇත්ත ය. එලෙසම එදාවේල සොයාගෙන ජීවත් වන මිනිසුන්ට කිසිදු සෙතක් අත් නොවූ බව ද ඇත්ත ය. ඔවුන් ඇන්ඳොත් කන්න නැත. කෑවොත් අඳින්න නැත. ඔබ කළගුණ සළකන්නට අදහස් කරනවා නම් සැළකිය යුත්තේ බේබිලට, බේබිලගේ තාත්තලට නොව, ඔවුන්ට ය. මන්ද යත් ඔය ආඩම්බරකාර තාත්තාට ඉතාමත් ආඩම්බරෙන් “මම මේ රටේ යුද්ධේ ඉවර කළා” කියා කියන්නට පුළුවන් වී ඇත්තේ ඒ මිනිසුන් නිසා වීම ය. ඔය දැන් වැලි ගෝනි අදින, ටොයිලට් හෝදන, වතුර ඉල්ලුවම වෙඩි තියන්න බල කෙරෙන “රණවිරුවන්ට” යුද්ධේ ඉවර කරන්න ප්‍රතිපාදන හම්බුණේ ඔවුහු පටි තද කරගෙන යුද්ධේ ඉවර වෙනකම් බඩගින්නේ හරි ඉන්නම් කියා කළ කැපවීම නිසා බව අප අමතක නොකළ යුතු ය.

එහෙත් ඔවුහු තවමත් එලෙස ම පටි තද කරගෙන අමාරුවෙන් පණ කෙන්ද ගැටගසා ගනිති. ඒ අතර එක විසල් පවුලක් පටි රෝල් කර ගනිති. මේ වන විට එම පවුලේ අයවලුන්ට තිබුණ පටි පාවිච්චි කිරීමට තියා පටි තද කර ගැනීමටවත් නොහැකි වී තිබේ. මන්ද යත් හොරා කෑමට සරිළන ලෙස මහත් වී සිටින ඔවුහු පුපුරන්නට ඔන්න මෙන්න කියා සිටින නිසා ය.

මේ දිනවල බොහෝ පිරිසක් වෙනසක් කිරීමට තබා ඒ පිළිබඳ අසන්නට වත් වුවමනාවක් නැති බව ප්‍රකාශ කරනු අපට ඇසුණි. ඔවුන්ගේ අදහස වූයේ මේ පවත්නා දේවල් වෙනස් කිරීමට නොහැකි බවයි. දූෂිතයි කියලා දැන දැනත් තව තවත් දූෂණයට හවුල් වෙන උන්ට කියන්නට තිබෙන්නේ ඔබ සැම කුහකයෝ කියා පමණි. වෙනස් වීම තමන්ගෙන් පටන් ගත යුත්තකි. වැරදි තැනදි කතා කළ යුතු ය. ඊට නිසි පියවර ගත යුතු ය. එසේ සිතන්නට වටේ සිටින අයවත් පුරුදු කළ යුතු ය. වටේ සිටින අයද එම පණිවුඩය අනෙකාට දැන්විය යුතු ය. රටක් වෙනස් කළ හැක්කේ එලෙස ය.

කොහොමටත්, 2022 වෙනකම් එකම මූණ තියාගන්න ආස අයට, උඩු රැවුළට ආස අයට, ළමයි වඩාගන්නවට ආස අයට වෙනසක් වුවමනා නැති ය. වෙනසක් වුවමනා වේල් දෙකක් කන්නට නැති උන්ට ය. තමන්ගේ අම්මව, අක්කව, නංගිව අවලම් දේශපාළුවෝ (ආඩම්බරකාර තාත්තා තාම එහෙම එවුන් රකිනවා) උස්සන් ගියාම කර කියාගන්න දෙයක් නැතිව, කියන්න කවුරුවත් නැතිව අසරණ වෙච්ච උන්ට ය. වතුර ඉල්ලලා වෙඩි කන්න වෙච්ච උන්ට ය. අධ්‍යාපන අයිතීන් ඉල්ලුවම ගුටි කන්න වෙච්ච උන්ට ය. පොඩි එකාට එක නීතියක්, ලොකු එකාට තව නීතියක් බව දැක්කම බෙල්ලේ වැල දාගන්න හිතෙන උන්ට ය. වෙනසක් වුවමනා එහෙම උන්ට ය.

අනිත් අයට කොහොම කුමක් වුව ද එක ය. කන්නට නැති වුණත් උන් උන්ගේ පාඩුවේ ඉඳීවි ය. එහා ගෙදර එකාට නොව තමාට දෙයක් වන තුරු ඔවුන්ට මේ වෙනසක වුවමනාව දැනෙන්නේ නැත. ලංකාවේ ඇත්තෝ එහෙමය. වැඩියෙන් ජනප්‍රිය වෙනසක් හොයන්නට නොව පාඩුවේ ඉන්නට ය.

එසේම, පෙර දැන සිටි සියලු කාරණා අවැසි නැත. ඒ සියල්ලම පසෙක තැබුව ද මහින්ද රාජපක්ෂට ඡන්දය නොදීමට ඔහුගේ ඡන්ද ප්‍රචාරණ කැම්පේන් එකම ඇති ය. මෙතෙක් කාලයකට ලංකාවේ කළ විශාලතම ඡන්ද “අලෙවිකරණය” සිදු කළේ ඔහු විසිනි. ඡන්ද නීති හිතූ මනාපෙට උල්ලංඝනය කරමින් එසේම එම නීති වල සිදුරු සොයමින් නින්දිත අයුරින් යුද්ධය විකුණමින් කළ ඒ කාර්යය දකින ඕනෑම මනුෂ්‍යයෙක්ට ඇති වන්නේ කළ කිරීමකි. ‘කණු පති’ ‘කණු රජා’ යනාදී විරුදාවලි ලබන්නට තරම් පාරේ ලයිට් කණුවක් කණුවක් ගාණේ ගැසූ විරිත්තන බෝඩ් ලෑලි ද, තැන් තැන් වල යුද්ධයේ විවිධ පැතිකඩවල් දැක්වෙන කටවුට් ද, විවිධ තැන් වල නවත්වා යුද්ධය සිහි ගන්වන කෙටි වීඩියෝ පෙන්වන ලොරි රථ ද, කුඩා කඩ හිස් ඉඩම් ආදිය ආවරණය කරමින් අඩියක් අඩියක් පාසා ඉදි කරන ලද කාර්යාල ද, “කළගුණ සළකමු” යි සඳහන්, ජංගම දුරකථන, බිත්ති ඔරලෝසු, අත් ඔරලෝසු, සිල් රෙදි, කුඩා දරුවන්ගේ පාසල් බෑග් බෙදා දෙමින් ද, එක් දිනෙක සියළුම පුවත් පත් වල ඉදිරි පිට සම්පූර්ණයෙන්ම යොදාගනිමින් කළ දැන්වීම් ද, රාජ්‍ය මාධ්‍ය අනිසි ලෙස යොදාගනිමින් කළ ප්‍රචාරණ කටයුතු ද, මුදල් ගෙවා නිර්මාණය කරවන ‘මඩ’ ගණයට වැටෙන්නා වූ වීඩියෝ ද, දුරකථන ඇමතුම් ද, නොනවත්වා එවන කෙටි පණිවුඩ ද, ඉන්දීය නළුවන් ගෙන්වා කළ ප්‍රචාරණ කටයුතු ද, යනාදී වශයෙන් ඉතාම විශාල වූ ප්‍රචාරණ ක්‍රියා දාමයක් ඔහු දියත් කළේ ය.

එහෙත් මේ සියල්ලටම ඔහු වියදම් කළේ තමාගේ සාක්කුවෙන් ද? කිසිසේත් ම නැත. ඒ සියල්ලට ඔහු ආතල් එකේ සල්ලි විසි කරේ ඔබේ ද මගේ ද සාක්කුවෙන් උදුරාගෙන ය. ඒ මුදල් රටේ යහපත් කටයුත්තකට වියදම් කොට ඔහුට ඡන්දය ලබා දෙන්නට කිව්වේ නම් ඊට වඩා නම්බු ය. ඒ මුදලින් තමා ඉදිරියට කරන්නට බලාපොරොත්තු වන යහපත් ක්‍රියා, සංවර්ධන කටයුතු, රට ඉදිරියට ගෙන යන අයුරු ගැන මිනිසුන් දැනුවත් කිරීමට ප්‍රචාරක දැන්වීම් නිර්මාණය කරන්නට තිබුණි. රටේ ස්වභාවික ව්‍යසන වලින් පීඩාවට පත්ව සිටි අසරණ මිනිසුන්ට උදව් කරන්නට තවත් මුදල් යොදන්නට තිබුණි. එසේ කරන්නට ගොස් පැරදුණ ද මේ රටේ මිනිසුන් ඇත්තටම වැඩක් කරන්නට ආ ජනාධිපති තුමා කියා ඔහු ඔසවා තබන්නට, පසසා ගරු කරන්නට ඉඩ තිබුණි. එහෙත් බල ලෝභී රාජපක්ෂට ඒවා මතක් වූයේ නැත. බලයට පෙරේතකමේ තෙවන වතාවටත් බෙදාගන්නට යන රාජපක්ෂට ඒ නුවණ නැත. යුද්ධය අවසන් කළ ජනාධිපතිවරයා ගෙදර යන්නට බයේ මෙසේ නොවටනා තරම් බැගෑපත් වී, වාතයක් වී, ඇණයක් වී බලය රැකගන්නට දඟලනවා දකින අපට නම් ඇති වන්නේ අතිශය කණගාටුවකි.

රාජපක්ෂව වීරයෙක් කළේ මේ රටේ මිනිස්සු ය. එහෙත් රාජපක්ෂ සිතාගෙන ඉන්නේ තමා වීරයෙක් නිසා මේ රටේ මිනිස්සු තමන් ඔසවා තැබූ බවයි. ඔහු වීරයාට ඇන්ඳේ ය. ඉන්පසු ඇදගෙන නෑවේ ය. ඉතින් වීරකමේ නාමයෙන් රටේ මිනිසුන්ට හෙවත් ඔබට මට, හයිරම් පාන්නේ ඒක ය.

එහෙත් මේ රටේ මිනිස්සු දැනගත යුත්තේ රාජපක්ෂ වීරයෙක් වන්නේ ඔබ ඔහු වටා පෙළ ගැසී සිටින තාක් කල් බව ය. ඔබ ඔතැනින් ඉවත් ව තම තමා වටේ සිටගන්න. තම සහෝදර පුරවැසියන්, මිනිසුන් සමග පෙළගැසෙන්න. රාජපක්ෂ යනු නිකම්ම නිකම් පිම්බූ බැලුම් බෝලයක් වී යනු ඇත. පිම්බූ බැලුම් බෝලයකට කටුවකින් ඇන්නහොත් සිදු වන්නේ කුමක් දැයි ඔබ දැක ඇති බව නිසැක ය.

ඔව් පුරවැසි බලය එතරම් විශාල ය. එක කූඹියෙක් කනවාට වඩා මිලියන විස්සක් කූඹි කෑවොත් කොහොමට තියේවි ද? නවතින්න.. සිතන්න.. අට වැනිදාට මොළේ පාවිච්චි කරන්න!

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

එන්න, අට වෙනිදාට

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මීගමුවේ ඇන්ටනීලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, රතුපස්වල අකිල දිනේෂ්ලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, කටුනායක රොශේන් චානුකලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, අරන්තලාවේ පොඩි හාමුදුරුවරුන්ට..
කළගුණ සළකන්න.. රජාගෙයි, කේපීලා, කරුණා අම්මාන්ලාගෙයි ආතල් කුඩු වෙන්න..

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු විසින් සමූහ දූෂණයට ලක් කෙරුණු නීතියට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ලක්ෂ පහක ණයත් එක්ක ඉපදෙන ඔබේ දරුවන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සුනාමියට ලැබුණු ආධාර අහිමි වූ ඔබේම නෑදෑයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔබ වෙනුවෙන් මියැදුණු ලසන්තලාට, එක්නැළිගොඩලාට..
කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න හොර හැත්තගෙයි කකුල් වෙව්ලන්න..

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, චීනෙට විකිණුනු සිරි ලාංකිකයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, නානසාර නිසා නොමග ගිය මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මාලකලා, මර්වින්ලා අතින් හිරිහැරයට ලක් වූ ඔබේ මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සාරුවා සුනිල් අතින් දූෂණයට ලක්වූ ඔබේ අක්කලා නංගිලාට..
කළගුණ සළකන්න.. රජාගෙයි, අමතක වෙච්ච උන්ගෙයි මතකේ අළුත් වෙන්න.

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් මියැදුණු සාමාන්‍ය මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් සාධාරණය ඉටු නොවුණු අසරණයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් අසාධාරණයට ලක් වූ අහිංසකයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, වැලි කොට්ට කර මතින් ගෙන දැක්කවූ “රණවිරුවන්ට”
කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න උන්ගෙයි ඉහ මොළ රත් වෙන්න..

ඔව් අනිවාර්යයෙන්ම “සුභ අනාගතයක්!”

© 2014 Pamuditha Zen Anjana

මචං ඉරාජ්

(ලියන්නට නොහිතුවත්, අහම්බෙන් දැකපු උඹේ අළුත් ස්ටේටස් එකක් නිසා ලියා තියන වග නම්)

පළමුවෙන්; උඹ දන්නා “උඹේ ආදරණීය ලංකා මාතාව” හා අපි දන්නා “ආදරණීය ලංකා මාතාව” යනු දෙකකි. ඒ අනුව බැලූ කළ උඹ ඔය විශ්වාස කරන දේ වල වරදක් ඇත්තේ නැත. වරද ඇත්තේ උඹ ඒවා විශ්වාස කිරීම තුළ ය.

උඹ දන්නා “උඹේ ආදරණීය ලංකා මාතාව” උඹේ “නීතීඥ” යහළුවාගේ (ගැත්තාට සමාව අවසර මල් කුමාරයාණෙනි) තනියෙන්ම අවුරුදු තිහක යුද්දයක් නිමා කළ, රටක් සංවර්ධනය කර, පාරවල් හැදූ, “ජනාධිපති” පියා විසින් පාලනය කෙරෙනු ලැබෙයි. රටවැසියෝ දරාගත නොහැකි ආතල් එකේ (යුද්දේ දින්නා) උඹේ උම්මා උම්මා සින්දුවක් අසා අයි.ටී.එන්. එකේ රාත්‍රියට යන නිව්ස් හා නාට්‍ය බලා බෝම්බ වලට නොබියව (යුද්දේ දින්නා), විදේශීය කුමන්ත්‍රණ හා විජාතික බලවේග වලට අම්බානක නෙළන අයුරු සිහිනෙන් දකිමින් සුවසේ නිදති. රුපියල් දෙදාස් පන්සීයක් වැනි සුවිසල් මුදලකින් මාසයක් රජ බොජුන් වළඳා (දැවැන්ත සංවර්ධනයක් වෙනවා) අළුත්ම වාහනයකින් (සුදු වෑන් එකකින් හෙම නොවේ) හයිවේ එකේ ඉක්මණින් වැඩට ගොස් ඉක්මණින් ආපසු ගෙදර එති (පාරවල් හැදෙනවා). පොලිසිය තරාතිරම් නොබලා නීතිය අකුරටම ඉටු කරති. රටේ හිටපු දූෂිත දේශපාලනඥයන් සියල්ලෝම අවුරුදු ගණන් වලට සිරබත් කති (තිබ්බ ෆයිල් එළියට ඇදලා). නීතියේ ආධිපත්‍යය රජයන බැවින් සමාජයේ වැරදි ශීඝ්‍රයෙන් අඩුවී ඇත (ඇයි යුද්දේ දින්නා). යමෙක් ස්ත්‍රී දූෂණයක්, ළමා අපචාරයක් ගැන සිතූ පමණින්ම, එම අපරාධකාරී සිතුවිල්ල ආ පුද්ගලයා වටා සිර කූඩුවක් මැවෙනවා ය. එතරම්ම සමාජය දියුණු වී ඇත (පාරවල් හැදෙනවා). දේශපාලනඥයන් කවදාවත් වැරදි කරන්නේ නැත (අමතක වීම් ද නැත). පාර්ලිමේන්තුවේ සිටින සීමිත සංඛ්‍යාව ද ඉතාම ඉහළට ඉගෙන ගත් මනා විනයකින් හෙබි පුද්ගලයන් ය. සිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් බස බස ගා ලැබේ. ඔවුන්ට පාරට බහින්නට වන්නේම නැත. ඒ වෙලාව ඔවුන් ඉගෙනීමට යොමු කර ගනියි. (තව පොඩ්ඩෙන් අමතක වෙනවා ගුරුවරුන්ට දණගහන් ඉන්න වෙන්නේ ද නැත) තව ගොඩක් කතා ඇත, ඒ ඔක්කොම ලියන්න ගියෝතින් මට ඉතිරිය ලියන්න හිතෙන්නේ නැති නිසා “උඹේ ආදරණීය ලංකා මාතාව” ආසියාවේ ආශ්චර්යය වී ඇති ආකාරය (දැවැන්ත සංවර්ධනයක් වෙනවා) එතෙකින් නිමා කරන්නෙමි.

දෙවනුව; අපි දන්නා “ආදරණීය ලංකා මාතාව” ගේ කතාව දිග හැරෙන්නේ ද උඹේ එකෙ දිග හැරුණු ආකාරයටම ය. හැබැයි ඒ යම් යම් වෙනස් කම් වලින් යුතුව ය.

කලින් කිව්වා සේම මේ රට ද, උඹේ “නීතීඥ” යහළුවාගේ (ගැත්තාට සමාව අවසර මල් කුමාරයාණෙනි) තනියෙන්ම අවුරුදු තිහක යුද්දයක් නිමා කළ, රටක් සංවර්ධනය කර, පාරවල් හැදූ, “ජනාධිපති” පියා විසින් පාලනය කෙරෙනු ලැබෙයි. හැබැයි මේ රටේ සාමාන්‍ය මිනිස්සු නම් එච්චර ආතල් එකකින් ඉන්න පාටක් පේන්න නැත. හැමෝම යමක් කියාගන්නට නොහැකිව හිර කරගෙන ඉන්න පාටක් මූණු වල පේන්නට තිබේ. යුද්දේ දින්නාට කට්ටිය ඒ දවස් වල යුද්දේ දිනාගන්නට තද කරගත් පටි දැන් රෝල් වෙලා ඇඟේ කෑලි බවට පත් වෙලා තිබේ. යුද්දේ ගැන කතා විසිහතර පැයේම අසා ඔවුන්ගේ කණ් කූං කූං ගානවා ය. යුද්දේ ඉවර වුණාට, සාමය ලැබුණාට, ඔවුන්ට ලැබුණු නිදහසක් නම් නැත.

පෑන කඩුවට වඩා බලවත් නිසා ද කොහෙද ඒක ඉස්සුවොත් සුදු වෑන් ඇවිත් පෑන් පිටින් ඉස්සෙනවා ය. ලසන්තලා එක්නැළිගොඩලා අතුරුදන් වුණේ ද එහෙම බව කාටත් මතක තිබේ. බොන්නට වතුර ටිකක් නැති නිසා කවුරුත් පැත්ත පළාත බලන්නේ නැති නිසා වතුර ඉල්ලන් පාරට බැස්සාම රට රැකපු රජතුමාගේ පස්සෙන් යුද්දෙට ගියපු “රණවිරුවෝ” දම්මලා වෙඩි තියනවා ය. තෙල් නිසා උද්ඝෝෂණය කරපු මීගමුවේ ඇන්ටනීටත් ඒ විදිහටම වෙඩි තිබ්බා මතක ය. එතෙකින් නොනැවතී ඒ රණවිරුවෝම ලව්වා උඹේ යාළුවාට රේස් පදින්නට වැලි ගෝනි ඇද්දවූ හැටි ද මේ රටේ මිනිස්සු මතක තියාගෙන සිටිති. මිනිස්සුන්ට, විශේෂයෙන්ම උඹේ රසිකයන්ට අමතක යැයි උඹ හිතාගෙන හිටියාට පොළවේ පයගහලා ජීවත් වෙන, ජීවත් වෙන්න නොවිඳිනා දුක් විඳින කට්ටියට ඔව්වා හොඳට මතක ය. උඹේ පේජ් එකේ අර කොමෙන්ට් කරන්නේ ද එහෙම අය බව මතක තියාගන්න තරමට හොඳ ය.

අද ලංකාවේ සිංහල, මුස්ලිම්, දෙමළ අපි හැමෝම කොළඹදී එකට ජීවත් වෙන අයුරු ගැන උඹ ලියා තිබුණේ මොළේ උඩ ඉඳගෙන ද කියලා අහන්නට හිතෙන්නේ දැන් උඹේ යාළුවාගේ තාත්තාට එළිපිට කඩේ යන (අපි දන්න කාලේ ඉඳන් ඕකා කඩේ ගියේ හොරෙන් හොරෙන්) නානසාර අංකල් අළුත්ගමදී කියූ “අබ සරණ” කතාව මතක් වුණ නිසා ය. උඹට ඔව්වා මතක නැත්තේ උඹ ජීවත් වුණේ වෙන රටක නිසා වෙන්න ඇති බං. අවුලක් නෑ යුද්දේ දින්නනේ කියන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි ඉතිං.

ඊළඟට – “මේ මොහොතේ මෙම අපේක්ෂකයන් අතරින් එක් අපේක්ෂකයෙකු පරාජය කිරිම සඳහා, අන්තවාදී මුස්ලිම් බලවේගත්,අන්තවාදී දෙමළ බලවේගත්, බටහිර රටවල්, තානාපති කාර්යාල,විවිධ රාජ්‍ය නොවන සංවිධාන,විවිධ දේශපාලන පක්ෂ එකතු වී ක්‍රියා කිරීමෙන් මට දැනෙන දේ නම් එම අපේක්ෂකයා ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයෙකු බවයි. ඔහු දුර්වලයෙකු නම් මේතරම් වෙහෙසක් දරා ඔහුව පරාජය කිරීමට අවශ්‍ය වන්නේ නැති” – වග උඹ ලියා තිබුණි.

කාරණාව ඇත්ත ය. ඔහු දුර්වලයෙකු නොව, ක්‍රමයෙන් ඒකාධිපතීත්වයට පිය තබනා, අවස්ථාවාදී කට්ට කෛරාටිකයෙකි. ඔහුව පරදන්නට මෙවන් ව්‍යායාමයක් කරන්නට සිදුව ඇත්තේ අන් කිසිවක් නිසා නොව ලොව අනෙක් ඒකාධිපතියන් කළ සියල්ලම ඔහු ද අකුරටම ඉටු කර ඇති නිසා බව උඹට මතක් කර දිය යුතු ව තිබේ. තමන්ගේ නෑදෑයන් සියල්ලම රටේ අස්සක් මුල්ලක් නෑර බලය රැක ගැනීම උදෙසා තනතුරු වලට පත් කර ඇත. විසුරවා නොහළ හමුදාව කාටත් නොදැනෙන අන්දමින් මහජනයා අතරේ ස්ථාන ගත කර අති සූක්ෂම හමුදා ආධිපත්‍යයක් යටතට ඔවුන් රැගෙන ඇත. සියළුම මාධ්‍ය පාහේ ආණ්ඩුවේ අතකොළු බවට පත් කර සාමාන්‍ය මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතීන් උල්ලංඝණය කර ඇත. අන්තර්ජාලය නවතන්නට හැකියාවක් නැති කම නිසා නොවන්නට එයට ද ඔය සෙතේම අත් වන්නට තිබුණි. ඉනුදු නොනැවතී, තමන් අසළින් සිටින සියල්ලන්ටම හොරකම් ගසා කෑම් සියල්ලම සිතු සේ කරගැනීමට ඉඩ හැර තමන් අත හැර යන්නේ නම් “ෆයිල් තිබෙන” බව මතක් කරයි.

මිනිස් අයිතිවාසිකම් බල්ලට දමා ඇත. ඒ වෙනුවෙන් කතා කරන ඕනම එකෙක්ට විජාතික බලවේග, අන්තවාදියෝ, විදේශීය කුමන්ත්‍රණ කරුවන් යැයි අහගන්නට සිදුවන අතර ඊටත් එහා ගියොත් වෑන් වල නොමිලේ වටවන්දනාවේ ගොස් නිවන් දැකීමට සළස්වයි. බෝ දුබල සේනාවට පින් සිදු වන්නට ඔය නම් අහගන්න සෙල්ලම අපි පාස් කළේ මීට අවුරුද්දකට කලින් ය. කොටියෝ කොටියෝ කියා කෑ ගැහුවාට එල්ටීටීඊ එකේ බර අතු ටික කස්ටිය පිටින්ම වළ බැස ඉන්නේ කොහේද කියා අපට හොඳට පෙනෙන්නට තිබේ.

වැඩිය කියන්නට ඕනා නැත මූලික මිනිස් අයිතිවාසිකමක් උදෙසා පාරට බට තරුණයෙක් පොලිස් දඩ බල්ලන් යොදා නිර්වස්ත්‍ර කර පාර දිගේ ඇදගෙන යනු ඊයේ පෙරේදා අපි දුටිමු. උපාධිය ඉල්ලා පාරට බට තරුණ තරුණියන්ට බැටන් පොල්ලේ “අවම බලය” යොදා අත දිග හැර පහර දෙනු අපි දුටිමු. මේවා උඹට නොපෙනෙනවා ද එසේත් නැත්නම් දැක දැකත් යහළුවා නිසා නිහඬව සිටිනවා ද යන්න අපි නොදනිමු. ළඟ ඉන්නේ, දිනන්නට ඕනෑ නම් හම්බන්තොටින් ගෙනත් පදිංචි කරන්නට පුළුවන් යැයි ද ඡන්දේ දුන්නේ නැත්නම් ගෙවල් වලින් ඇද දැමිය යුතු යැයි ද කියූ යාළුවෙක් නිසා උඹට ඉතින් මෙව්වා කියා වැඩක් නැති නමුත් මේ ටික ලියා තබන්නට හිතුණේ අඩුම තරමේ කියවන වෙන එකෙක්ට හරි මොකක්ම හරි හිතෙන්නට ඉඩ ඇති නිසා ය.

අවසානයට; සුනිල් ආරියරත්න මහතා, නන්දා මාලනී මහත්මිය, කපුගේ මහතා වැනි අභීත කලාකරැවන් දේශපාලන ”ගොං වැඩ” මැරකම්,දුෂණය විවේචනය කළ ආකාරය සමඟ උඹේ නම ගාවගන්නට නම් හිතන්නට වත් එපා ය. මොකද ඒ “මිනිස්සු” දූෂණ සීයක් කරපු අවලම්මු හංගන් ඉන්න, මිනී මරපු විදිහ අමතක වුණාට කුඩු විකුණන්න මතක මිනිස්සු ආරක්ෂා කරන, ෆයිල් තිබ්බට පියවර නොගන්න, නීතිය බල්ලට දාපු, ආඩම්බරකාර තාත්තලා වෙනුවෙන් කතා කළේ නැති නිසා ය.

ලංකාවේ අවංක මිනිස්සුන්ට තාම මේ රටේ වුණ දේවල් හොඳින් මතක ය. අර දූෂණය වූ සියයක් අක්කලා නංගිලා අතරේ, වතුර ඉල්ලලා වෙඩි කාපු තුවාල කරගත්තු අසරණයන් අස්සේ, නානසාරගේ වචන වලට නොමග ගිහින් ගෙවල් ගිනි තිබ්බ කොල්ලෝ අතරේ, ඒ ගිනිගත්ත ගෙවල් අයිති මිනිස්සු අතරේ, රාජපක්ෂ රෙජීමයේ මරු විකල් හැසිරීමෙන් පීඩාවට පත් මිනිසුන් අතරේ, උඹගේ රසිකයන්ද ඉන්නට ඇති කියා උඹට නොහිතෙන්නේ උඹේ අවාසනාවකටද එහෙමත් නැත්නම් උන්ගේ අවාසනාවකටද කියා මට නොතේරේ. උඹේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ලොවෙත් නැත. ඒක දිගටම පාවිච්චි කරපන්. අපිත් අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරන්නම්. සත්‍යයට ජය!

~ පමුදිත

පසුව ලියමි:

පට්ට සීන් එකක් තියෙනවා, පොඩි ප්‍රශ්න ටිකක් අහන්න හිටියා තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. මේ ඔය උඹ කියන “ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයා” ඔය කියන තරමට තමන් ශක්තිමත් බව දන්නවා නම්, ප්‍රචාරණ කටයුතු වලට මෙච්චර වියදමක් ඇයි..? කණුවක් කණුවක් ගාණේ හිනාවෙන්නේ ඇයි..? පත්තරේ පළවෙනි පිටුව පුරෝලා ඇඩ් දාන්නේ ඇයි..? බස් දම්මලා රැස්වීම් වලට සෙනඟ අදින්නේ ඇයි..? මැතිවරණ වේදිකා සරසන්න හිරකාරයෝ දාන්නේ ඇයි..? යුද්දේ දින්නා, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා™ කිය කිය විසි හතර පැයේ මතක් කරන්න වෙලා තියෙන්නේ ඇයි..? උඹලා වගේ උන්ගේ සහයත් ඕන වෙලා තියෙන්නේ ඇයි..? ඈස්චර්ය තව අවුරුදු අටකට දික් කරන්න එච්චරම දුක් විඳින්න වෙලා තියෙන්නේ ඇයි..?

උත්තර දන්නේ නැත්නම් යාළුවගෙනුත් අහලා හොයාගෙන ස්ටේටස් එකක් දාපන්.

© 2014 Pamuditha Zen Anjana

ගොන් කතාවක්

මෙහේ එකාලාට මෑතක පටන් වී ඇත්තේ අන්දරේට වූ හදිය ම ය. මඟුල් ගෙදර යන්නට පෙර ආඩම්බරකාර අප්පුච්චා ගොනා වාගේ ඉන්නට කියූ දා සිට මුං ගොනා වාගේ ම ඉන්නවා ය. අපරාදේ කියන්නට බැරි ය. ඉන්නවා විතරක් නොව අත් දෙකේම ඇඟිලි වලින් ඔළුවේ අං සාදාගෙන එකිනෙකාට ඇණ ගන්නට පවා යනවා ය. ඒ දැක මඟුල් ගෙදර කා බී නටමින් ගයමින් ප්‍රීති වෙන වැඩිහිටියන්ට හතර හිනා ය. කතාව ඒ මඟුලක් ගැන නොව ලංකාවේ ගොන්නු ගැන ය.

මෙහේ ගොන්නු ප්‍රතිශතයක් ලෙස ගත්තාම සෑහෙන වැඩි ලු ය. ගොන් ප්‍රභේද වලින් නා නා විධ, විවිධාප්‍රකාර ගොන්නු මෙහේ ඉන්නවා ලු ය. බත් කන හරක් කියා ලංකාවටම ආවේණික ප්‍රභේදයක් ගැන ද ලියන්නා කොහේදි හෝ අසා තිබෙනවා ය. ගොඩක් ගොන්නුන්ට පමණක් නොව ගොපල්ලන්ට ද විවිධ භාෂා වලින් උම්බෑ කීමේ හැකියාව තිබෙනවා ලු ය. ඔය කාට කාටත් ඒ බව සැකයි නම් රෑ නවයහමාරෙන් පමණ පසු රූපවාහිනියේ ගුවන් විදුලියේ පවා විවිධ භාෂා වලින් උම්බෑ කියන ගොන්නු සහ ගොපල්ලන් දැකීමට ඇසීමට හැකිය. ලියන්නා පත්තර කියවනවා සෑහෙන අඩු ය. එහෙත් කලාතුරකින් පත්තරයක් අතට ගත්තාම පොල්ගෙඩි අකුරින් පිටු පුරා උම්බෑ කියන ගොන්නු ලියන්නා දැක තිබෙනවා ය.

ලංකාවේ ගොන්නුන්ට නොතේරෙන එව්වා ද ගොඩක් තිබෙන්නේ ය. මතක් වෙන හැටියකට ඒවා මෙහි ලියන්නට ලියන්නා උත්සාහ කරනවා ය.

ගොන්නු හිතං ඉන්නේ හැමදාම උලා කන තණ බිම් උන්ගේ කියා ය. එහෙයින් හැමදාම තණබිම් වල අයිතිය රැක ගන්නට, ඒ අටමඟලෙම හිතාගෙන ඉන්නා වෙන වෙන ගොන්නු සමඟ ඇණ කොටා ගන්නවා ය. මේ එක ගොනෙක්ට වත් නොතේරෙන්නේ තණ බිම් මොන හරකෙක්ට වත් අයිති නැති බව ය. ඔළුවෙන් හිටගෙන කීවද, බීරි අලින්ට වීණා ගැහුවාට ඇහෙන්නේ නැතිවාක් මෙන් තණකොළ කා උම්බෑ කියන්නට පුරුදු ගොන්නුන්ට ඒවා කියා වැඩක් නැති ය. ඒ අව් අස්සේ ගොන්නු බලන ගොපල්ලන් ද තණ බිම් උන්ගේ බාප්පොච්චාගේ වාගේ හැසිරෙනවා ය. ගොනෙක් වැරදිලා වත් සීමාවෙන් පිට ගියොත් උන්ගේ රැස්පොට් බැලිය හැකිය. උන්දැලා එහෙම හිතාගෙන හිටියාට එව්වා උන්ටත් අයිති නැති ය. ඔය කොච්චර රැස්පොට් තිබ්බ ද ගොන්නු කෙතරම් කුළල් කාගත්තද ගොපල්ලන්ට වගක් වත් නැතිවාක් සේ ය. ආතල් එකේ තමන්ගේ වැඩක් බලාගෙන වස් දඬුවක් පිඹගෙන, කෑල්ලකට ලයින් දාගෙන උන් ඉන්නවා ය. ඉතින් ඇණ කොටාගන්න එකෙන් කෙළ වෙන්නේද ගොන්නුන්ට ය. එය නොතේරී තව තවත් මරාගන්නේ ද ගොන්නු ම ය.

ඔය කුමක් වුවත් ගොපල්ලෝ ගොපලු තනතුරට පත් වන්නේ කොහොමද යන කාරණාව ගොන්නුන්ට ඒ හැටි නිනව්වක් නැති පාට ය. එහෙම මෙව්වා එකක් තිබ්බ ද ඒ හැටි ගාණක් නැති පාට ය. ඔහේ වමාරා කමින් ඔළුව වනමින් ඉන්නවා ය. ලියන්නාට හිතෙන්නේ, ඒ ගොන්නු, තමන් ගොන්නු බව නොදන්නා නිසා කියා ය. මොකද මේ නිකම් ගොන්නු නොව ගොන් බබාලා නිසා ය. දෙන දෙයක් කා, වෙන දෙයක් බලාගෙන ඉන්නට මේ ගොන් බබාලා පට්ටටම කැමති ය. ඉඳහිට කරත්තයේ, බරබාගයේ බැන්ඳාම පොඩ්ඩක් කුණු කුණු ගෑව ද, බර අදින්නට පටන් ගත් විට ලෝස් නැතිව අයිතිකාරයාගේ අම්මාගේ අප්පුච්චාගේ පටන් පවුලේ බේබිලාගේ පවා බර අදිනවා ය. ඒ ගැන උම්බෑ ගාන්නට යන ගොනෙක් නැති ය.

මන්ද යත් ඒ උම්බෑ සද්දේ ජූංජක් හෝ වැඩි වුවහොත් පස්සට ගොපල්ලාගේ කෙවිටි පාර සුවර් බව හැම ගොනෙක් ම දන්නා නිසා ය. තත්වය එසේ වුව ද ඉඳහිට කණාවට වාගේ නාහෙට නාහන ගොන්නු ද සිටින බව කලාතුරකින් අහන්නට ලැබෙනවා ය. ඒ ද උන් සුද්දාගේ වෑන් වල යන චාරිකාවෙන් අනතුරු ව මස් කඩේට දැක්කුවාට ද පසුව ය.

“දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි ය” කියා කතාවක් ලියන්නා පොඩි කාලේ පටන් අසා තිබේ ය. මොකද එකී කතාවට මුල්වූ ගොන්නු දෙන්නාගෙන් එකෙක්ට මැස්සන් එළවීමට වලිගයක් තිබුණේ නැති නිසා ය. මැස්සන් කනවා දැනුණ ද එළවන්නට වලිගයක් නැති ය. මෙහේ ගොන්නුන්ට වෙලා තියෙන්නේ ද ඔය හා සමාන සංගදියක් ය. අයිතිකාර ඇත්තෝ ඔක්කෝගේම වලිගය කපාලා ය. ලියන්නාට හිතෙන්නේ දැන් දැන් ඉපදෙන වහු පැටවුන්ගේ පවා වලිගය ඉපදෙද්දීම කපනවා කියා ය. මොනා වුණත් හදිසියකට මැස්සෙක් මදුරුවෙක් එළවාගන්නට වලිගය නැති එක ගැන නම් පට්ට දුක ය.

ගොන්නු ගැන කියන්නට ගොන් කතා තවත් තිබෙනවා ය. ඒත් එහෙම කතා ඔක්කොම එකට ලියලා ද වැඩක් නැති ය. පස්සේ දවසක තවත් ගොන් කතා පුළුවන් වුණොත් ලියන්නම් ය.

අන්තිමට කියන්නට තවත් එකක් මතක් වුණේ ය. ඒ ගොන්නු කොපමණ සිටියද එළදෙනුන්ගේ හිඟයක් දැනෙනවා වාගේ ය. මොකද මෙච්චර හරක් ඉන්නා රටේ කිරිපිටි ගිනි ගණන් ඇයි ද කියා සකබග් උන්දෑගේ අඩවියේ පෝස්ට් එකක් හුවමාරු වෙනවා දුටු නිසා ය. එක අතකින් බැලුවාම ඒ හැටි පුදුමයක් ද නැති ය. මොකද මේක මහ අමුතු ඇටයක් නිසා ය. පඳුරකට පයින් ගැහුවාමද ඇස් දෙකටම ඇඬෙන්නට ආශ්චර්යය එළියට පනින නිසා ය.

මේ උම්බෑ කිව්වා හොඳටෝම ඇතිය. හදිසියේ වත් සද්දේ වැඩි වෙලා කංකරච්චලයක් වගේ වලව්වට ඇසුණොත් ලියන්නාගේද වලිගය කපා සුද්දාගේ වෑන් වල එක්ක ගොස් එලොව පොල් පෙන්නාවි යැයි ලියන්නාගේ මෑණියන්දෑ කීවා ය. එහෙම වුවමනාවක් ලියන්නාට තාම නම් නැති ය. මේ ගොන් අඩවියට ඇවිදිං ගොන් කතා කියවා යන ගමන් ඔය මොනා හරි කොටාගෙන යන එකෙන් ලියන්නාට තවත් ගොන් කතා ලියන්නට හිතේවි ය. ඒ නිසා ඕන ගොනෙක් කැමති ගොන් කතාවක් ඕන විදිහකට දාගෙන ගියාට ලියන්නාට අවුලක් නැති ය.

© 2014 Pamuditha Zen Anjana

යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!

ලංකාව; ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට, පෙරදිග ධාන්‍යාගාරය.. ඔන්න ඔහොමයි අපි ඒ දවස් වල ඉඳන් ඉගෙන ගත්තේ. ඒත් අද වෙද්දි, අපි නොහිතන විදිහේ විපර්යාස වලට ලක් වෙච්ච අපේ මව්බිම, අපි නොහිතපු විදිහට නිකම්ම නිකන් ම්ලේච්ඡයන්ගෙන් පිරුණු දූපතක් වේගෙන යන අපේ අනන්‍යතාවය… ඒක විනාශ වීගෙන යනවා. හැමෝම එකට මේ වගේ පුංචි දූපතක් ඇතුළේ ජීවත් වෙනවා කියන අදහසම දැන් මේ දවස් වල අන්තිම හුස්ම ටික ගන්න පණ අදිනවා. මොකද්ද වුණේ කියලා හොයලා බලද්දී එක හේතුවක් කියලා වෙන් කරලා අඳුරගන්න බැරි තරම්ම ඒක පැටලිච්ච නූල් බෝලයක් වෙලා.

කාලකණ්ණි යක්කු සේරම එකට එකතු වෙනවා එක දේකට. එක එක තැන් වලින් එක එක විදිහට එකතු වුණාට ඒ ඔක්කොම නවතින්නේ අන්තිමට එක තැනකට කියලා දැන් දැන් තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ දේ නවත්වන්න මොකද්ද කළ යුත්තේ කියලා තාම අපිටවත් හරියට නොතේරෙන එක. කූඩැල්ලන්ව මෙට්ටේ තියන්න බෑ වගේම මෝඩයන්ට තේරුම් කරන්නත් බෑ. අවියට අවිය කියන කතන්දරේ මේකට අදාළ නොවෙන්නේ ඔතනදී. උන් කරන දේම අපි කළොත් ඒක නිකම්ම නිකන් ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වෙනවා. වෙන විදිහකට මේකට විසඳුමක් සෙවිය යුතුයි.

ඔක්කොගෙම ඔළු විකෘති වෙලා පිස්සෝ වගේ මේ පොඩි රට ඇතුළේ දඟලනවා. එක එකා ළඟ ඉන්න එකාව මරාගෙන කන්න හදනවා. කවදාකවත්ම ඇහුණේ නැති අද්භූත කතා මේ වෙද්දි ඇහෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ දූපතේ ඉන්න ම්ලේච්ඡ ඔළු ඔක්කොම වගේ මේ වෙද්දි එකම විදිහකට හැඩ ගස්වලා ඉවරයි. එක තැනකින් හූ කිව්වොත් ඔක්කොම හූ කියාගෙන ඉවක් බවක් නැතුව යකා නටන්න ගනියි. ඒ වගේ අවස්ථා ගොඩක් අපි අත්වින්ඳා බොහොම මෑතකදි ඉඳන්. අදටත් අත් විඳිනවා.

අමු අමුවේ දරුණු කළකිරීමකින් තමා අද මේ දූපතේ හිර වෙලා ඉන්නේ. අපි අපි එකතු වෙන තැන් වල අපි අපේම රටක් හදාගෙන ඉන්නේ. සිංහල මුස්ලිම් දෙමළ භේදයක් නැතුව අපි ඔක්කොම එක බත් එක බෙදාගෙන කාලා ඉන්නවා. කවදාවත් උන්ගේ පල්ලියේ, කෝවිලේ කරන දෙයක් අපිට ප්‍රශ්නයක් වෙලා නෑ. උන්ටත් අපිව කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. හිතුණොත් මෙවා ඔක්කොම දාලා එකට ඉන්න එවුන් ටිකත් එක්කම වෙන රටකට යනවා. ප්‍රශ්න වලට විසඳුම් හොයන්න අවස්ථාවක් නැත්නම් ඉතින් ඒකෙන් පැනලා යන එක තමා කරන්න ඉතිරි වෙලා තියෙන හොඳම දේ.

මේවා ගැන බෞද්ධ අන්තවාදීන්ට (කට ඇරගෙන බලං ඉන්න දෙයක් නෑ. දැන් එහෙම එවුනුත් ඉන්නවා!) කිව්වම උන් ඉතිහාසය කබල් ගාන්න හදනවා. දුටුගැමුණු කාලෙදි හාමුදුරුවරු යුද්දෙට ගියා කියනවා. මේක ඉතිහාසය නෙමේ වර්තමානය. ඉස්සර හිටපු රජවරු හිටියා වගේ කාලයක් නෙමේ මේක. අනික දුටුගැමුණු කාලේ හිටපු හාමුදුරුවරු සිවුරු ඉරාගෙන ගහ මරාගත්තේ, හින්දු කෝවිල් කඩන්න ගියේ, කුණුහරුප කියාගෙන පාර දිගේ කටගොන්නක් බී ගෙන වැඩ දැම්මේ, දායකයන්ගේ දානේ තෙල අහිංසක මිනිස්සුන්ට පෙන්නුවේ නෑ.

ඒ වගේ එකෙක්ට මම කිව්වා තොට මරා රජ්ජුරුවෝ වගේ පෙණුනට අපිට එහෙම පේන්නේ නෑ. වරෙන් මේ පැත්තට අපි කොහොමද සමගියෙන් ඉන්නේ කියලා පෙන්නන්න කියලා. මාළිගාවත්තේ ප්‍රශ්නෙදී පන්සල් කඩන්න වෛශ්‍යාවන්ගේ පුත්තු එද්දී ඔය අහවල් බෞද්ධයෝ ටික තමා නැට්ට අහවල් එකේ ගහගෙන හිටියේ. අහල පහළ හිටපු මුස්ලිම් කොල්ලෝ ටික ආරංචිය ලැබුණු ගමන් අපේ පන්සලට එකතු වුණා.. “බයවෙන්න එපා මචං ඕකුන්ට පන්සල පැත්තේ එන්න දෙන්නේ නෑ!” උන් එක හඬින් කිව්වා. තොපි දන්නේ මොනවද යකෝ. නොදකින් කාඩ්බෝඩ් ඉන්ටනෙට් වීරයෝ!

මගේ ඉස්කෝලේ හොඳම යාළුවා මුස්ලිම්. උගේ පවුලේ නොතේරෙන පොඩි එකාගේ පටන් මට වෙසක් කාඩ් එවලා තියෙනවා… කඩෙන් අරන් නෙමෙයි.. අතින් හදලා! තේරෙන කමකට නෙමෙයි, ඒත් එහෙමයි උන් හිතන්නේ. තොපි කියනවා වගේ අහවල් එකක් උන් ලඟ නෑ. එක්කෝ ජීවිතේට මුස්ලිම් එකෙක් ලඟින් ආශ්‍රය කරපු නැති එවුන් දන්නේ නැති මඟුලක් කතා නොකර ඉන්න ඕනේ. මේක ලංකාව! උපන් දවසේ ඉඳන් අපේ අම්මලා තාත්තලා මිනිස්සුත් එක්ක හරි විදිහට ජීවත් වෙන හැටි උගන්නලා තියෙනවා. යමක් කමක් තේරෙන කාලේ ඉඳන් හැම ජාතියකම ආගමකම හොඳ යාළුවෝ මගේ ලඟින්ම හිටියා… තාමත් එහෙමයි! ජාතීන් අතර සමගිය පවත්වගෙන යන්න කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නෑ.. හිතේ තියෙන කුහක කම් නැති කර ගත්තම ඇති. පඟර නැට්ටෝ උඩුබිරුවට ඒ දේවල් නැති වෙන්නේ නෑ. හාමුදුරුවරු ගැන වැඩිය කතා කරන්නේ නෑ මොකද මොන අහවල් වැඩේ කළත් අපි තාමත් බුද්ධ චීවරේට ගරු කරන නිසා. නැත්නම් ජංගි ගැලවෙන, මයිල් ඉස්මයිල් වෙන කතා තියෙනවා මං ළඟ. හැම හාමුදුරු කෙනෙක්ම ඒ වගේ නෙමෙයි කියලා මම දන්නවා… ඒත් සසරෙන් ඉක්මණට එතෙර වෙන්න කියලා ශාසනේට ඇතුළු වෙන හාමුදුරුවරු පාරේ ගහ මරා ගත්තම ඉතින්, අනේ මන්දා සරත් කියලා ඔහේ බලා ඉන්නවා ඇර කරන්න දෙයක් කොහෙද?

උඹලා ගහ මරාගනිල්ලා උඹලා වගේම අන්තවාදී මුස්ලිම් එවුන් එක්ක. එක අහිංසකයෙක් හරි ඔය වගේ වැඩකදි අනතුරට ලක් වුණොත් අන්න එදාට උඹලාට දුවන්න පාරවල් හදා ගෙන තියා ගනිල්ලා! එදාට බෞද්ධයෝ, මුසල්මානුවෝ, කිතුණුවෝ, ද්‍රවිඩයෝ, විතරක් නෙමෙයි එකී නොකී හැම ආගමකම දහස් ගණන් සහෝදරයෝ තොපි වගේ ජාතිවාදීන්ගේ විකෘති ආශාවන්ට, විශ්වාසයන්ට විරුද්ධව පෙළ ගැහෙන්න සූදානමින් ඉන්නවා! ඒක මතක තියා ගනිල්ලා!

තෙරුවන් සරණයි!
එච්චරයි.

© 2012 Pamuditha Zen Anjana