ගොන් කතාවක්

මෙහේ එකාලාට මෑතක පටන් වී ඇත්තේ අන්දරේට වූ හදිය ම ය. මඟුල් ගෙදර යන්නට පෙර ආඩම්බරකාර අප්පුච්චා ගොනා වාගේ ඉන්නට කියූ දා සිට මුං ගොනා වාගේ ම ඉන්නවා ය. අපරාදේ කියන්නට බැරි ය. ඉන්නවා විතරක් නොව අත් දෙකේම ඇඟිලි වලින් ඔළුවේ අං සාදාගෙන එකිනෙකාට ඇණ ගන්නට පවා යනවා ය. ඒ දැක මඟුල් ගෙදර කා බී නටමින් ගයමින් ප්‍රීති වෙන වැඩිහිටියන්ට හතර හිනා ය. කතාව ඒ මඟුලක් ගැන නොව ලංකාවේ ගොන්නු ගැන ය.

මෙහේ ගොන්නු ප්‍රතිශතයක් ලෙස ගත්තාම සෑහෙන වැඩි ලු ය. ගොන් ප්‍රභේද වලින් නා නා විධ, විවිධාප්‍රකාර ගොන්නු මෙහේ ඉන්නවා ලු ය. බත් කන හරක් කියා ලංකාවටම ආවේණික ප්‍රභේදයක් ගැන ද ලියන්නා කොහේදි හෝ අසා තිබෙනවා ය. ගොඩක් ගොන්නුන්ට පමණක් නොව ගොපල්ලන්ට ද විවිධ භාෂා වලින් උම්බෑ කීමේ හැකියාව තිබෙනවා ලු ය. ඔය කාට කාටත් ඒ බව සැකයි නම් රෑ නවයහමාරෙන් පමණ පසු රූපවාහිනියේ ගුවන් විදුලියේ පවා විවිධ භාෂා වලින් උම්බෑ කියන ගොන්නු සහ ගොපල්ලන් දැකීමට ඇසීමට හැකිය. ලියන්නා පත්තර කියවනවා සෑහෙන අඩු ය. එහෙත් කලාතුරකින් පත්තරයක් අතට ගත්තාම පොල්ගෙඩි අකුරින් පිටු පුරා උම්බෑ කියන ගොන්නු ලියන්නා දැක තිබෙනවා ය.

ලංකාවේ ගොන්නුන්ට නොතේරෙන එව්වා ද ගොඩක් තිබෙන්නේ ය. මතක් වෙන හැටියකට ඒවා මෙහි ලියන්නට ලියන්නා උත්සාහ කරනවා ය.

ගොන්නු හිතං ඉන්නේ හැමදාම උලා කන තණ බිම් උන්ගේ කියා ය. එහෙයින් හැමදාම තණබිම් වල අයිතිය රැක ගන්නට, ඒ අටමඟලෙම හිතාගෙන ඉන්නා වෙන වෙන ගොන්නු සමඟ ඇණ කොටා ගන්නවා ය. මේ එක ගොනෙක්ට වත් නොතේරෙන්නේ තණ බිම් මොන හරකෙක්ට වත් අයිති නැති බව ය. ඔළුවෙන් හිටගෙන කීවද, බීරි අලින්ට වීණා ගැහුවාට ඇහෙන්නේ නැතිවාක් මෙන් තණකොළ කා උම්බෑ කියන්නට පුරුදු ගොන්නුන්ට ඒවා කියා වැඩක් නැති ය. ඒ අව් අස්සේ ගොන්නු බලන ගොපල්ලන් ද තණ බිම් උන්ගේ බාප්පොච්චාගේ වාගේ හැසිරෙනවා ය. ගොනෙක් වැරදිලා වත් සීමාවෙන් පිට ගියොත් උන්ගේ රැස්පොට් බැලිය හැකිය. උන්දැලා එහෙම හිතාගෙන හිටියාට එව්වා උන්ටත් අයිති නැති ය. ඔය කොච්චර රැස්පොට් තිබ්බ ද ගොන්නු කෙතරම් කුළල් කාගත්තද ගොපල්ලන්ට වගක් වත් නැතිවාක් සේ ය. ආතල් එකේ තමන්ගේ වැඩක් බලාගෙන වස් දඬුවක් පිඹගෙන, කෑල්ලකට ලයින් දාගෙන උන් ඉන්නවා ය. ඉතින් ඇණ කොටාගන්න එකෙන් කෙළ වෙන්නේද ගොන්නුන්ට ය. එය නොතේරී තව තවත් මරාගන්නේ ද ගොන්නු ම ය.

ඔය කුමක් වුවත් ගොපල්ලෝ ගොපලු තනතුරට පත් වන්නේ කොහොමද යන කාරණාව ගොන්නුන්ට ඒ හැටි නිනව්වක් නැති පාට ය. එහෙම මෙව්වා එකක් තිබ්බ ද ඒ හැටි ගාණක් නැති පාට ය. ඔහේ වමාරා කමින් ඔළුව වනමින් ඉන්නවා ය. ලියන්නාට හිතෙන්නේ, ඒ ගොන්නු, තමන් ගොන්නු බව නොදන්නා නිසා කියා ය. මොකද මේ නිකම් ගොන්නු නොව ගොන් බබාලා නිසා ය. දෙන දෙයක් කා, වෙන දෙයක් බලාගෙන ඉන්නට මේ ගොන් බබාලා පට්ටටම කැමති ය. ඉඳහිට කරත්තයේ, බරබාගයේ බැන්ඳාම පොඩ්ඩක් කුණු කුණු ගෑව ද, බර අදින්නට පටන් ගත් විට ලෝස් නැතිව අයිතිකාරයාගේ අම්මාගේ අප්පුච්චාගේ පටන් පවුලේ බේබිලාගේ පවා බර අදිනවා ය. ඒ ගැන උම්බෑ ගාන්නට යන ගොනෙක් නැති ය.

මන්ද යත් ඒ උම්බෑ සද්දේ ජූංජක් හෝ වැඩි වුවහොත් පස්සට ගොපල්ලාගේ කෙවිටි පාර සුවර් බව හැම ගොනෙක් ම දන්නා නිසා ය. තත්වය එසේ වුව ද ඉඳහිට කණාවට වාගේ නාහෙට නාහන ගොන්නු ද සිටින බව කලාතුරකින් අහන්නට ලැබෙනවා ය. ඒ ද උන් සුද්දාගේ වෑන් වල යන චාරිකාවෙන් අනතුරු ව මස් කඩේට දැක්කුවාට ද පසුව ය.

“දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි ය” කියා කතාවක් ලියන්නා පොඩි කාලේ පටන් අසා තිබේ ය. මොකද එකී කතාවට මුල්වූ ගොන්නු දෙන්නාගෙන් එකෙක්ට මැස්සන් එළවීමට වලිගයක් තිබුණේ නැති නිසා ය. මැස්සන් කනවා දැනුණ ද එළවන්නට වලිගයක් නැති ය. මෙහේ ගොන්නුන්ට වෙලා තියෙන්නේ ද ඔය හා සමාන සංගදියක් ය. අයිතිකාර ඇත්තෝ ඔක්කෝගේම වලිගය කපාලා ය. ලියන්නාට හිතෙන්නේ දැන් දැන් ඉපදෙන වහු පැටවුන්ගේ පවා වලිගය ඉපදෙද්දීම කපනවා කියා ය. මොනා වුණත් හදිසියකට මැස්සෙක් මදුරුවෙක් එළවාගන්නට වලිගය නැති එක ගැන නම් පට්ට දුක ය.

ගොන්නු ගැන කියන්නට ගොන් කතා තවත් තිබෙනවා ය. ඒත් එහෙම කතා ඔක්කොම එකට ලියලා ද වැඩක් නැති ය. පස්සේ දවසක තවත් ගොන් කතා පුළුවන් වුණොත් ලියන්නම් ය.

අන්තිමට කියන්නට තවත් එකක් මතක් වුණේ ය. ඒ ගොන්නු කොපමණ සිටියද එළදෙනුන්ගේ හිඟයක් දැනෙනවා වාගේ ය. මොකද මෙච්චර හරක් ඉන්නා රටේ කිරිපිටි ගිනි ගණන් ඇයි ද කියා සකබග් උන්දෑගේ අඩවියේ පෝස්ට් එකක් හුවමාරු වෙනවා දුටු නිසා ය. එක අතකින් බැලුවාම ඒ හැටි පුදුමයක් ද නැති ය. මොකද මේක මහ අමුතු ඇටයක් නිසා ය. පඳුරකට පයින් ගැහුවාමද ඇස් දෙකටම ඇඬෙන්නට ආශ්චර්යය එළියට පනින නිසා ය.

මේ උම්බෑ කිව්වා හොඳටෝම ඇතිය. හදිසියේ වත් සද්දේ වැඩි වෙලා කංකරච්චලයක් වගේ වලව්වට ඇසුණොත් ලියන්නාගේද වලිගය කපා සුද්දාගේ වෑන් වල එක්ක ගොස් එලොව පොල් පෙන්නාවි යැයි ලියන්නාගේ මෑණියන්දෑ කීවා ය. එහෙම වුවමනාවක් ලියන්නාට තාම නම් නැති ය. මේ ගොන් අඩවියට ඇවිදිං ගොන් කතා කියවා යන ගමන් ඔය මොනා හරි කොටාගෙන යන එකෙන් ලියන්නාට තවත් ගොන් කතා ලියන්නට හිතේවි ය. ඒ නිසා ඕන ගොනෙක් කැමති ගොන් කතාවක් ඕන විදිහකට දාගෙන ගියාට ලියන්නාට අවුලක් නැති ය.

© 2014 Pamuditha Zen Anjana