අටහමාර

පෙර රජ දවස පටන් ම, රාත්‍රී අටහමාර යනු;

ක්‍රින්ජියානු සාගරයේ අමුතු ඇටය නොහොත් ලකේපංකාව යන අසිරිමත් දිවයිනේ මුල්ලකට වන්නට පිහිටියා වූ, ‘බීසනේ’ නිති රජකරන, මෙලෝ වගතුවක් නොමැති මිරිකාන පොලිස්වසම තුළ වසන සියල්ලෝම පාහේ, දරු මල්ලන් ගුරු දෙගුරුන් හිස දරාගෙන, බඩ බැඳගෙන, තදින් බදාගෙන, තුරු හිස්, ගොඩනැගිලි මුදුනින් පැන පොළා විත්, මහ පාර පුරා හිස් ලූ ලූ අත දිවගොස්, තම තමුන්ගේ ගේදොර කැදලි තුළට වැදී, හතිළමින්, හනි හනිකට දොරපලු වසාගෙන, කොසු ඉදලින් හැඳිමිටෙන් සන්නද්ධ ව, බුජම් බේසම් හා හට්ටි මුට්ටි ඔළු වල දමාගෙන, ඇඳ ඇතිරිලි, පාපිසි හා ජනෙල් තිර හෝ පහන්තිර වලින් සියල් සිරුරු වසාගෙන, පෙට්ටගම් පසුපස, සයනය යට, අල්මාරි තුළ හෝ වතුර ටැංකි තුළ, බියෙන් වෙව්ළමින්, කෙළ පෙරමින්, විසල් වූ දෑස් දෑතින් තද කර වසාගෙන, ඊටත් උඩින් සෙලෝටේප් හෝ රබර් ටේප් වෙළාගෙන, දිව හපාගෙන, සහේතුක ව සළිත වන සිරුරට අනිසි බලපෑමක් නොඒ යැයි සිතමින්, දෙවියන් බුදුන් හෝ හැකි සියල්ලෝම යදිමින්, කල් ගෙවන්නා වූ අතිශය බියකරු කණිසමකි.

අටහමාර පසු වී තත්පරයකින් හතළිස් දහකින් එකක් හෝ යන්නටත් පෙර ‘සෙනිකවම’ එකී ප්‍රදේශය වෙළාගන්නා වූ අද්භූත බලවේගයන්ගේ බලපෑම් ප්‍රාදේශීය දනන්ගේ මෙම විකාරරූපී හැසිරීමට හේතුවන බව විද්වත් මතය යි. ඒ මන්දැයි සිතන්නට ගොස් පැණනැගි කුතුහලය නිති සිත් පෙළන්නට වූයෙන්, නොවළාම ඒ සංසිදවාගනු වස්, රාත්‍රී අටහමාරේ කණිසමෙන් පසු, මෙම අද්භූත බලවේගයන් ඇසින් දුටුවන් සොයා මිරිකාන විජයාරාම පෙදෙසට ගිය අපට, ඒ අසිරිමත් පුරුෂෝත්තමයන්ගෙන් එක් අයෙක් මුණගැසීමේ භාග්‍යය ලැබිණි.

ඒ කෙසේ ද යත්;

ගෝල් දේශයේ තාඩන පීඩන වලට නොබියව මුහුණ දුන් කොට කලිසම් කිසිසේත් නාඳින රෝමානු සොල්දාදුවන්ගේ කඳවුරක අසිරි ගත්, චීනමහා ප්‍රාකාරය මෙන් අහස් කුස සිසාරන උස් තාප්පයකින් හා මිනීකන කිඹුලන් පිරි විසල් ඇළකින් වට කර, සිව්කොණ සතරවරම් දෙවියන්ට කැප කොට, එළාර මරා රට එක්සේසත් කර දිවංගත වූ මහා දුට්ඨගාමණී අභය දෙවියන්ගේ ආනුභාවයෙන්, තද තද හිත් ඇත්තා වූ මුරභටයන්ගේ ආරක්ෂාව නිති ලැබෙන්නා වූ, ජ’පුර පුරාණ රජමහා විහාරස්ථානය බලා ගිය අප පිරිසට, එම භූමියේ ඉදිරිපස ගේට්ටුව අසළ මඳක් නැවතීමට සිදුවිය.

ඒ අප පිරිසේ කිසිවෙක් කොටකලිසම් හැඳ නොසිටී ද යන්න බැලීමටත්, පුරුෂයන් මෙන් වෙස්වළාගත් කාන්තාවන් සිටිත් දැයි බැලීමටත්, අප පිරිසේ සියල්ලන්ගේම පුඃලිඟු අතගා, කන්‍යාවන් ද බැලීමට මුණ්ඩ පස්සට ගසා, ගුදමගට ඇඟිලි ගැසීමට ආරක්ෂක භටයන් හට ඉහළින් උපදෙස් ලැබී තිබූ නිසා බව තරමක් වයෝවෘධ ආරක්ෂක භටයෙක් අපට දැනුම් දුනි. ඔවුන්ගේ හතළිස් ඇඳිරියෙන් වැසුණු තීක්ෂණ දෑසින් මිදී ඒ සියල් පරීක්ෂා දරාගෙන ඒ මහා පුණ්‍යභූමිය තුළට අපි සැවොම කුළුණු හැඟීමෙන් යුතු ව ඇතුළු වූයෙමු.

බලන බලන අත එළි විහිදුවන්නා වූ විදුලි පහන් කුළුණු ය. අවට සිසාරා හමන වෙරළු මල් සුවඳ ය. මදක් එහාට වන්නට විසල් ගොඩනැගිලි මැදිකරගත් මහා වෘක්ෂයෝ ය. ඒ සියල්ල යා කරනා මහා මාර්ග ය. එනමුදු කිසිදු මිනිස් පුළුටක් පෙනෙන්නට නොවී ය. අසන්නට ද කිසිවෙක් නොවීයෙන් අපි ‘හිසහැරුණුඅතේ’ න්‍යාය භාවිතා කොට එක් මගක් තෝරාගෙන ඒ ඔස්සේ ඇදෙන්නට වීමු. තරමක් දුර යත් දී විදුලි එළි පහන් කිසිවක් ගොඩනැගිලි සීමාවෙන් ඔබ්බට නොමැති බව් වටහාගත් අප තරමක් දෙගෙඩියාවෙන් බලා සිටිත් දී, මඳක් එහාට වන්නට පිහිටි පඳුරු ගොන්නකින් චුන්දයා සූකරයන් මරත් දී උන් කෑගසන්නාක් මෙන් හඬක් නොනවත්වා නැගෙන්නට වී ය.

ඒ භයානක හඬින් බියපත් අප සැවොම, බියෙන් මුසපත් ව මහ පොළොව බදා එහි පිහිට පැතූ පිරිසේ අවශේෂයන් එතැන අතැර දමා, ‘සෙනිකවම’ එතැනින් ඈත් වනු වස්, අතපයට පණ දී දුවන්නට වූයෙමු. තරමක් දුර හිස් ලූ ලූ අත දිවූ අප නොදැනුවත්වම පැමිණ ඇත්තේ පඳුරු වලින් ගහණ අඳුරු පෙදෙසකට බව පසක් වූයෙන් බියෙන් සළිතව කරකියාගත කිසිත් නොහැකිව විසල් දෑස් අඳුරට යොමා වෙව්ළන්නට වූයෙමු.

විගස අසළ පඳුරක් වේගයෙන් සෙළවෙන්නට විය. මොහොතක ඇවෑමෙන් තවත් පඳුරක් ද, තවත් පඳුරක් ද යනාදී වශයෙන් වටා පිටාවේ වූ සියල් පඳුරු වේගයෙන් සෙලවෙන්නට විය. අවට සිසාරා භීෂණකාරී සුළඟක් නොකඩවා හමන්නට විය. පෙර ඇසූ සූකර මරහඬ සතර දෙසින් දෙගුණ තෙගුණ වී ඇසෙන්නට විය.

අප බියට පත් කුඩා ගැහැණු ළමුන් මෙන් සොප්‍රානෝ හඬින් යටිගිරියෙන් කෑගසන්නට වීමු.

‘සෙනිකවම’ සූකර මරහඬ ද පඳුරු සෙළවීම ද වේගවත් සුළඟ ද නැවතුණි.

මොහොතක ඇවෑමෙන් නැවතත් පඳුරු ගොනු සර සර හඬ නගමින් අක්‍රමවත්ව සෙළවෙන්නට විය. ඒ තුළ සිටි යම් කණ්ඩායමකගේ කලබලකාරී කතාබහක් ඇසෙන්නට විය.

“නෑඹුල් යුවතියන් පිරිසක් නේ ද සහෝදරයා?!”

“සහෝදරයා සහෝදරයා කියා කෑ නොගසා මේ කලිසම ඇඳගන්න මිතුර!”

“මගේ යට කලිසම ඔබ ඇඳගෙන සොයුර, අහෝ ඕක ගලවා දෙන්න!”

“කිසිදු මංගලෝත්සවයක් කිරීමට පෙර ඔබේ පුඃලිඟුව ඔය ගස් බෙණයෙන් ගලවා ගන්න යහලුවේ!”

“එළියට ගොස් බලන්න කොලුව, අප මෙහි සිටින්නම්!”

අසළ වූ පඳුරකින් එළියට පැන්නේ අපිළිවෙලට හැඳ පැළඳගත්, නවදැළි හේනක තනිවූ වඳුරකුගේ පිළිස්සුණු ලෝම මෙන් මුහුණේ තැනින් තැන යන්තම් දැළි රවුළු වවාගත් තරුණයෙකි. විසල් දෑසින් පඳුරු දෙස බලා නිහඬව නිසොල්මන්ව හුන් තැනම පාෂාණිභූත වී සිටි අප දුටු විගස තුෂ්ණිම්භූත වූ ඔහු, මොහොතකින් මුහුණ සිනාවකින් එකාලෝක කරගෙන අප වෙතට පැමිණියේ ය.

“Muhude nau giyata parawal hitinne nane.. ewage unata 8.30n psse hitiyata aulk na.. habai..ubala wage mekata ena hamaekagema muhudu na.. ubala ubalage ewa muhudu kragena widawana eka anith ahinsaka kelantath krala un widawanawa blnna asha athi.. ubala maha kuhakai.. ubalage wesa kamata anith un palida.. 8.30n psse meka inna gaththoth japure kello ithuru wenne nathuwa out weddi okkama ganu idi ubala asa ehema wenawa blnnada.. ubalata unu de anith untath krannada..?”

කියා ඇසූ ඔහු, අප සියල්ලන්ගේම සිත්තුළ පැණ පිට පැණ ඉතිරි කර තබා නැවත පඳුරකට පැන අතුරුදහන් වී ය.

© 2019 Pamuditha Zen Anjana

කුලප්පු වූ හරක් රැළකට මැදි ව

ඇස් අන්ධ කරලා, මොළ ගාණට කප්පාදු කරලා, රොබෝලා වගේ ප්‍රෝග්‍රෑම් කරලා අතෑරපු, උපසංකෘතිය කියලා කුණු වෙලා ඕජස් ගලන අහවල් එකක් කරපින්නාගත්තු, රාජ්‍ය විශ්ව විද්‍යාලයීය බහුතරයක් වූ දුප්පත් හිඟන හැතිකරේ ගැන පුද්ගලිකව අත්විඳින්න මට චාන්ස් එකක් ලැබුණා. ඒ ඊයේ හවස පොඩි වැඩකට යාළුවෙක් හම්බවෙන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයට ගිය වෙලාවේ.

මම යම් කාලෙක ඉඳන් සාමාන්‍යයෙන් අඳින්නේ ෂෝර්ට්ස්. හිතුණොත් ඇරෙන්න මම දිග කලිසම් අඳින්නේ නෑ. ඊයේත් ඒ වගේම තමා වෙනසක් නෑ. තද වැස්සකුත් තිබ්බ වෙලාවේ මම ජ’පුරට ගියේ හවස හයහමාරට විතර. යාළුවා විසිටින් ලෙක්චරර් කෙනෙක්. පොර පහළට එනකම් මම ඉඳගෙන හිටියේ පසුව දැනගත්තු විදිහට සුමංගල ශාලාවද මොකද්ද එකක් කියන තැනක පහළ ඉන්ෆෝමේෂන් කවුළුව ගාව. ඔතනින් ගිය පොඩි එකෙක් “අයියා කැම්පස් එකේද?” කියලා ඇහුවා. මම “නෑ මචං ඇයි?” කියලා ඇහුවම පොර ෆෝන් එකත් කණේ ගහගෙන යන්න ගියා. මට ඒ වෙලාවේ වුණ දේ මීටර් නොවුණේ යාළුවා පහළට එන්නේ කොයි වෙලාවෙද කියලා හිත හිත හිටපු නිසා.

ඔහොම පැයක් විතර මම ඔතන ඉදගෙන ෆෝන් එක ඔබ ඔබ හිටියා. ලෙක්චර්ස් ඉවරවෙලා ඔතනින් ගිය එකෙක් වත් මාව දැක්කෙත් නෑ. දැක්කත් උන් මගේ ෂෝර්ට් එක දැක්කේ නෑ හෝ දැක්කත් ගණන් ගත්තේ නෑ. යම් වේලාවකට පස්සේ කැම්පස් එකේම මගේ යෙහෙළියක් ඔතනට ඇවිල්ලා සුමංගල ශාලාවේ දොරකඩ ළඟ හිටගෙන විනාඩි දෙකක් කතා කර කර ඉන්න ඇති. ලෙක්චර්ස් ඉවර වෙලා එතනින් ගිය හරක් හතරදෙනෙක්ගෙන් සමන්විත රැළක් තප්පුළාගෙන ඇණගන්න ආවා.

– “මචං ඔයා කැම්පස් එකේද?”

– “නෑ මචං මොකද්ද කේස් එක?”

– “ෂෝර්ට්ස් ඇඳන් ඇතුළට එන්න දෙන්නේ නෑ..!”

– “ආ හරි මචං. මම කෙනෙක් හම්බවෙන්න ආවේ. තව පොඩ්ඩකින් යනවා..!”

– “ඒත් ෂෝර්ට් ඇඳන් මෙතන ඉන්න බෑ! අටහමාරෙන් පස්සේ පුළුවන්! දැන් ගිහින් අටහමාරට එන්න!”

එතන හිටපු මොළ ශෝධනයට ලක් වෙච්ච හිඟන්නෙක් කිව්වම මට හිනා ගියා.

– “සීරියස්ලි?”

මිනිස්සුන්ට එච්චර මෝඩ වෙන්න පුළුවන්ද කියලා හිතුණු නිසා මම ඇහුවා.

– “මම ලෙක්චරර් කෙනෙක් හම්බවෙන්න ආවේ මචන්. මගේ වැඩේ තව විනාඩි පහකින් ඉවරයි. අයිල් බී ගෝන් සූන්!”

ඉංග්‍රීසි නිසා ඊගෝ එක ඌයියා වෙච්ච කොට හරකෙක්ට මළ පැනලා තිබ්බා.

– “කිව්වම අහනවා. මෙතන ප්‍රශ්නයක් වෙයි. ඊට කලින් යන්න. ගිහින් අටහමාරට එන්න. නැත්තන් එළියේ හම්බවෙන්න!”

– “ඔව් මේක ඇතුළට ෂෝර්ට් ඇඳන් එන්න දෙන්නේ නෑ!”

හරක් රැළම තප්පුළන්න ගත්තම මට ආයේ හිනා ගියා.

– “මගේ ෂෝර්ට් එක නිසා ප්‍රශ්නේ වෙන්නේ කැම්පස් එකටද? නැත්නම් ඕගොල්ලන්ටද?”

මම ඇහුවේ ඇත්තටම උන්ගේ ගොන් ආතල් එක මට නොතේරිච්ච නිසා.

“ඕන්නැති කතා ඕන්නෑ. දැන් එළියට යන්න කිව්වම අහලා!”

උන් තව කුලප්පු වෙලා තිබ්බා.

“හරි අයි විල් ගෝ ඉන් අ මිනිට්! තෑන්ක්ස්!”

වාතයක් නොවී ආපු වැඩේ කරගෙන යන්න ඕන නිසා මම කිව්වා.

දිනුම ලැබුණා කියලා හිතුණු නිසාද කොහෙද උන් ටිකක් ඈතට ගිහින් මම යයිද කියල බල බල එළියට ගියා. ටිකකින් ඔතනින් රෙදි වලින් ඔතපු දරමිටි වගේ පොට්ටනි කිහිපයක් කරේ තියාගත්තු කළු ඇඳගත්තු හිඟන්නෝ රැළක් ගියා. (පසුව මීටරේට වැටුණු පරිදි ඊයේ උද්ඝෝෂණේට බොක්කෙන් බැහැපු උන්) එක හිඟන්නෙක් ඉතාම ඔතෝරිටේරියන් විදිහට මාව ප්‍රශ්න කළා.

– “ඔබතුමා කැම්පස් එකේද?”

– “නෑ මචං!”

– “ෂෝර්ට් ඇඳන් එන්න දෙන්නේ නෑ! එළියට වෙලා ඉන්න. මෙතන ප්‍රශ්නයක් වෙයි!”

– “ඔව් මට දැනගන්න ලැබුණා! මම මේ එළියට යන්න හදන්නේ. නමුත් උඹලගේ මානසිකත්වය මට තේරෙන්නේ නෑ!”

– “තේරුන්නැති වුණාට කමක් නෑ. එළියට යන්න”

පොර එහෙම කියාගෙන යන්න ගියා.

මම යෙහෙළියත් එක්ක එළියට ආවා. කොහේදෝ ඉඳන් ආපු සෙකියුරිටි ඩයල් එකක් ගේට්ටුව ළඟදි මාව ප්‍රශ්න කළේ ඔය වෙලාවේ. වාතයක් වෙච්ච නිසා මට තද වෙලා තිබ්බේ. මිනිහෙක්ට නිදහසේ ඇඳුමක් අඳින්න දෙන්නේ නැති කැම්පස් කාළකණ්ණි ගැන තිබ්බ මළ තව පොඩ්ඩෙන් උගෙන් පිට වෙනවා.

වෙලාවට කලින් ඇණ ගන්න ආපු හිඟන හරක් සෙට් එක ඔතනටත් ආවා. තේරුණ විදිහට සික්කව එතන්ට එව්වෙත් උන්මයි. උන් ඈතට වෙලා මගේ ප්‍රතිචාරය බලන් ඉඳලා තිබ්බා.

– “තමුසේ මොකද තවත් කතා කර කර ඉන්නේ. අතනත් ඕනාවට වැඩියි. එළියට යනවා ඕයි කිව්වම අහලා”

– “එළියට තමා මේ යන්නේ. ඒ යන අස්සෙත් මඟුලක් කතා කරන්නේ මොකටද?”

– “පව් නොදී යනවා ඕයි එළියට!”

කොට හිඟන හරකා මාව දෙපාරක් විතර තල්ලු කරා. එතනට තත්පරේක ඇවෑමෙන් කට්ටිය එකතු වුණේ ෆ්‍රී ෂෝ එක මොකද්ද බලන්න වෙන්න ඕන.

– “කලින් මනුස්සයෙක් වගේ කතා කරන්න ඉගෙන ගනින්..! මිනිහෙක්ට මිනිහෙක් විදිහට සළකන්න ඉගෙන ගනින්..!”

මම කිව්වේ තරහකටමත් නෙමෙයි. කළකිරීම නිසා.

මට ඇත්තටම එතන වලියක් ඇදගන්න වුවමනාවක් තිබ්බේ නෑ. මොකද තනියෙන් දහයක් එක්ක ගහගන්න තරම් මට හැකියාවක් නොතිබුණ නිසා. අනික හිඟන්නෙක් ගේමක් ඉල්ලුවම හිඟන්නත් එක්ක පාර පුරා පෙරළිලා ඇරගෙන හිඟන්නගේ මට්ටමට වැටෙන්න කොහොමත් මට වුවමනාවක් තිබ්බේ නෑ. උන්ගේ හරක් හැසිරීම මට එච්චර ඇල්ලුවේ නැති නිසා උන් ඇදලා දාන්න කලින් මම එළියට ආවා.

රෑ අටහමාරට ලෙක්චර්ස් ඉවරවෙනකම් කිසිම මනුස්සයෙක්ට ගේට්ටුවෙන් ඇතුළට එන්න බෑ ෂෝර්ට් එකක් ඇඳගෙන. ඒක තමා උන්ගේ අයිඩියා එක. පසුව දැනගත් පරිදි ඒක උන්ගේ ආතල් එකට හදපු අහවල් එකක් මිසක් නීතියක් හෝ රෙගුලාසියක් නෙමෙයි. කැම්පස් අයිති කැම්පස් එකේ ශිෂ්‍ය බලමණ්ඩල වල උන්ට. රටට නෙමෙයි.

මගෙත් එක්ක ආපු යෙහෙළිය කැම්පස් එකේ වීම නිසා එයාට වුණේ අරුන්ගේ මඟුලේ දේශනා අහන්න. මම යාළුවට කෝල් කරලා සීන් එක කිව්වගමන් මිනිහා ලෙක්චර් එක නවත්තලා ආවා. හරක් සේරම එකතු වෙලා පොරත් එක්ක වාද කරනවා. අඩුම තරමේ මම ගාඩ් රූම් එක ගාවවත් ඉන්න එක උන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. අතිශය හාස්‍යජනක පාට් එක තමා එතනට ශිෂ්‍ය සංගමේක සභාපති වෙලා හිටපු පොඩි එකෙක්වත් කෝල් කරලා ගෙන්නගෙන ප්‍රශ්නේ ගැන කතා කරන්න සෙට් වෙච්ච එක. කිසිම අයුරකින් ෂෝර්ට් එකක් ඇඳපු එකෙක්ව ඇතුළට ගෙන්න ගන්න බෑ කියන මතයෙන් පොඩ්ඩක් වත් එළියට එන්න එතන එකෙක් වත් සූදානම් නෑ.

මගේ යාළුවා ගේම ඉල්ලන්නේ හරක්ට අවකලනය බලෙන් තේරුම් කරන්න බව තේරුණ මම ඒක ඩ්‍රොප් කරන්න කිව්වා. ඇත්තටම උන් එක්ක කතා කරලා වැඩක් නෑ. උන්ට ඒ ප්‍රශ්නේ ඒ තරම්ම ආගමිකයි. උන් ෂෝර්ට් එකට ගේම ඉල්ලන්නේ අන්ධ භක්තියෙන් මරාගෙන මැරෙන ආගමිකයන්ට නොදෙවෙනි ආවේගයකින්. සාම්ප්‍රදායයි උන්ගේ අම්මගේ රෙද්දේ උපසංස්කෘතියයි ආරස්ස්සා කරගන්න උන් ලෙක්චරර් කෙනෙක් එක්ක වුණත් ගේම ඉල්ලනවා.

“සොරි සර්! සර් එක්ක එහෙම ප්‍රශ්නයක් නෑ! දන්නවනේ මේවයේ ළමයින්ගේ හැටි!”

ගාඩ් රූම් එකේදී සෙකියුරිටි ගාඩ් කෙනෙක් කිව්වා.

කවුරු හරි ෂෝර්ට් එකක් ඇඳන් ආවම ශිෂ්‍ය සංගම් වල බලාධිකාරයට කෙළ වෙන එක නිසා එකෙක් ෂෝර්ට් එකක් ඇඳපු එක විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රශ්නයක් වෙන එක ගැන කල්පනා වුණේ සිදුවීම ඉවර වෙලා ආපු වැඩේ කරගෙන ගෙදර එද්දී. එකෙක් හරි උන්ගේ සාම්ප්‍රදායට අභියෝගයක් වෙන විදිහට ඇතුළට ආවම ඊටපස්සේ අළුතින් එන පොඩි උන් උන්ගේ බලාධිකාරය ප්‍රශ්න කරන්න ගන්නවා.

“ඇයි අපිට විතරක් ෂෝර්ට් ඇඳන් එන්න බැරි?”

ශිෂ්‍ය බලමණ්ඩලවල උන් මේ ප්‍රශ්නෙට පට්ට බයයි. ඉතාම කුඩා නොවැදගත් සිදුවීමක් උණත් පවත්නා තත්වය යටතේ උන්ට කෙළ වෙන තැනට කැරකෙන්න ඉඩ තියෙන වග උන් හොඳටම දන්නවා. එක කෙල්ලෙක්ගේ නිර්භීත කම නිසා බලමණ්ඩල වල උන්ටයි හණමිටි කරේ ගහගෙන හිඟාකන උන්ටයි දවස් ගාණක් පාරට බැහැලා හිඟාකන්න වෙලා තියෙන වෙලාවක මේ වගේ කුඩා සිදුවීමක් ඇති කට්ටිය ට්‍රිගර් වෙන්න. සංස්කෘතික පොලීසිය වශයෙන් තමන්ගේ බලය පැවැත්වීමට ඇති අවශ්‍යතාවය උන් ඊයේ රිලීස් කරගත්තේ එහෙමයි. ඊගෝ එක ඌයියා කරගෙන මගෙත් එක්ක ගේම ඉල්ලපු කොට හිඟන්නා දෙතුන් පාරක් යන්න ගිහින් නැවත එතනට ආවේ ඒ බලාධිකාරය පෙන්නන්න. මම ඌගේ පිටට තට්ටුවක් දාගෙන මගේ යාළුවට සමුදීලා ගෙදර ආවා.

කැම්පස් යන පොඩි උන් ඉන්නවනම් මේ ටික කියන්නේ උන්ට;

බය නැතුව ඔය හරක්ගේ ඔතෝරිටි එක චැලෙන්ජ් කරපල්ලා. විශ්ව විද්‍යාල වලින් එළියට එන්න ඕනේ රොබෝලා වෙලා නෙමෙයි. තනියෙන් හිතන්න තනියෙන් හිතලා තීරණ ගන්න පුළුවන් තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු වෙලා. එක එකාගේ හිඟන සංකීර්ණ උඹලගේ උගුරෙන් පහළට බලෙන් ඔබන්න ඉඩ දෙන්න එපා. අර කෙල්ලව ආදර්ශයට අරගෙන බය නැතුව උන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මට ඇත්තටම මේක පිළිබඳ නීතියෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙලාව වත් පුකේ අමාරුව වත් නෑ. මට ඊට වඩා වැඩ තියෙනවා.

අන්තිමට වගේ එතන හිටපු දුප්පත් හිඟන්නෙක් කියපු කතාවකට මම තාම තනියෙන් හිනාවෙනවා.

“ඔයිට වඩා හොඳයි ඇඳුම් නැතුවම ආවනම්!”

© 2016 Pamuditha Zen Anjana

“වරදට සමාව දෙන” මිනිසුන් ඕනෑ කර තිබේ!

උදයා සීගිරිය නැග්ගා ය. නගින අනෙක් අය මෙන්ම වටපිට බලමින් අවට සිරි නරඹමින් පතරංග ගලක් තරණය කළා ය. තරණය කරන අතරමග, සිංහල, දමිළ, ඉංග්‍රීසි, භාෂා තුනෙන්ම “අල්ලන්න එපා” කියා සඳහන් කළ බෝඩ් ලෑලි එල්ලා තිබූ පත සයිස් දිළිසෙන තාප්පයක ඈ ගලකින් සූරා නමක් සටහන් කළා ය.

“මෙහි කුණු දැමීම බල්ලන්ට පමණි” කියා බෝඩ් එල්ලා තිබෙන තැනෙක, බල්ලන් පැමිණ කුණු දමා යනවාක් සේ, “මෙහි මුත්‍රා කිරීම බල්ලන්ට පමණි” කියා ලියා ඇති තාප්පෙකට, බල්ලන් ඇවිත් මුත්‍රා කර යනවාක් සේ, “මෙහි දැන්වීම් ඇලවීම තහනම්” කියා ලියා ඇති පොදු ස්ථානයක, බල්ල- සමාවන්න- යම් පුද්ගලයන් ඇවිත් පෝස්ටර් උඩ පෝස්ටර් අලවා යනවාක් සේ, “දිය නෑම අනතුරු සහිතයි” යනුවෙන් සඳහන් තැන්වලම දියබුං ගසන්නට යනවාක් සේ, “තීන්ත වේළී නැත” කියා බෝඩ් ගසා ඇති අළුතින් තීන්ත ආලේප කර ඇති ගේට්ටුවක ඇඟිලි ගසා තීන්ත වේලී නැත්දැයි බලනවාක් සේ, එපා කියන දේම කරන ශ්‍රී ලාංකීය “බබාලා” සේ, ඈ අතගාන්නට එපා කී පවුරේ නමක් සටහන් කළා ය.

අවුල වූයේ පෙරකී කවරකටත් වඩා මේ පවුර වැදගත්කමක් ඉසිලීමයි. ඒ වැදගත්කම පුරාවිද්‍යාත්මක එකක් වීමයි. එක්දාස් හාරසිය බරගණන් වලටත් ඉස්සර ඈත අතීතයේ ගල තරණය කළ දූපත් වැසි සංචාරකයෝ කුරුටු ගෑ කවි එක්දාස් බර ගණනකින් ඒ පවුර වැසී තිබීමයි. ඒ සංචාරකයන්ගේත් මේ උදයා නමැති සංචාරිකාවගේත් කුරුටු වල වෙනස හා වැදගත්කම කුමක්දැයි ප්‍රශ්න කළ යුත්තේ තව අවුරුදු එක්දාස් බර ගාණක් ගිය විට සිටින්නාවූ මිනිසුන්ගෙන් ය. අපට එහි වෙනස කීමට සත්‍යය වශයෙන්ම නොහැක.

උදයා ජාතියෙන් ද්‍රවිඩ වීමවත්, කාන්තාවක් වීමවත්, දුප්පත් වීමවත්, නීතිය නොදැන සිටීමවත්, ඈ කළ වරද නොසළකා හැරීමට හෝ සමාව දී නිදහස් කිරීමට කිසිම අයුරකින් හේතුවක් නොවේ. එහෙත් අප මෙහිදී බැලිය යුත්තේ මේ වරද ජීවිතයක් අඳුරු කර “සීගිරියෙන් බිමට තල්ලු කිරීමට” තරම් දරුණු වරදක් ද යන්න ය.

ලංකාවේ සිර ගෙවල් පිළිබඳව අප හොඳින් අසා තිබේ. කුඩා කළ පාසලේ ක්ෂේත්‍ර චාරිකාවලින් ද, පසුව රූපවාහිනියේ ද සිරගෙවල් ඇතුළත පිළිබඳ අපි දැක අසා ලැබූ අත්දැකීම්, කයි කතන්දර එමට ය. සුළු වරදවලට සිර දඬුවම් ලැබූවන්, දඬුවම් විඳ, දරුණු අපරාධකරුවන් ව කළ එළි බසිනයුරු අප අසා තිබේ. ඇප වශයෙන් රුපියල් සීය දෙසීය ගෙවා ගත නොහැකිව දිගු කාලයක් සිර දඬුවම් විඳින්නවුන් පිළිබඳව ද අප අසා ඇත්තෙමු. සිර ගෙවල් තුළ ගෙවන යම් කාලයකට අනතුරුව, වරදක් පිළිබඳ පසුතැවීමෙන් එළියට එන පුද්ගලයා ඒ නිසා නැවත වරදක් නොකර සිටීමට තරම් පුනරුත්ථාපනයකට ලක් වන ආකාරය පිළිබඳ සුරංගනා කතා වැනි කතා අප ඕනෑ තරම් අසා ඇත. එහෙත් එසේ පසුතැවීමෙන් එළියට පැමිණ යළි වරදක් නොකරන පුද්ගලයන් අප දැක ඇත්තේ අතේ ඇඟිලි ගණනට ය. අතිශය බහුතරයක්, එනම් සිය දහස් ගණනක් සිර දඬුවම් විඳ එළි බසින්නේ, පාතාලේ “තද කකුල්” දෙක තුනක් අතගා සමහරවිට “කකුලක්” බවට පරිවර්තනය වෙලා බව නම් ඕනෑ තරම් දැක අසා ඇත්තෙමු. පිරිමි ගැහැණු වෙනසක් නැත. දෙකේම තත්ත්වය එසේ ය.

මඩකලපුවේ හිඳ පැමිණි, මීට පෙර කිසිදු සිර දඬුවමක් නොවිඳි, අපරාධයකට ලාවට වත් ගෑවී නැති උදයා අවුරුදු දෙකක් හිරේ යන්නට සූදානම් වන්නේ මෙවන් තත්වයක් යටතේ ය. ඇයට ලබා දී ඇති දඬුවමේ සාධාරණත්වය ප්‍රශ්න කෙරෙන්නේ මේ තත්ත්වය යටතේ ය. ඈට ලැබී ඇති දඬුවම “සීගිරියෙන් පහළට තල්ලු කිරීමක්” වෙන්නේ එනයිනි. ඈට ලැබුණු දඬුවම නැවත සළකා බැලිය යුතු වන්නේ එබැවිනි.

නීතිය පිළිබඳව මෙන්ම නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව පැහැදිලි ලෙසම ප්‍රශ්න ගණනාවක්, නොපැහැදීම් ගණනාවක් අප සිත් තුළ තිබේ. යම් වරදවලට සිර දඬුවම් දීමට නීති සැකසී ඇත්තේ එය බොහෝ කාලයක පටන් පැවත එන සමාජ සංශෝධන ක්‍රමවේදයක් නිසා ය. ඉන් වරදට පෙළඹෙන්නෝ එකී වරද කිරීමෙන් ලැබෙන ප්‍රතිවිපාක සිහිවීමෙන්, දඬුවමට ඇති බිය නිසා වරද කිරීමට පෙළඹෙන්නේ නැති බව එහිදී නැගෙන තර්කයයි. එහෙත් මෙකී ක්‍රමවේදය පිළිබඳව උපහැරණ දීමට, අන් අයටත් ආදර්ශයක්, පාඩමක් වීම උදෙසා මෙසේ මනුෂ්‍යයෙකුගේ අනාගතයක් අනතුරේ හෙළීම මේ මොහොතේ ප්‍රශ්න කෙරෙමින් පවතී. මේ යෝජනා කෙරෙන්නේ වෙනත් ක්‍රමවේදයක අවැසිතාවයක සේයා දැයි කල්පනා කර බැලීම වටී.

මෙහිදී සන්නස්ගලයන් අයිටීඑන් එකේ පත්තර කියවන්නට ඇවිත් කියූ කතාවක් සිහි වේ.

“පුරවැසියන් වන අපව පාලනය කිරීම සඳහා උඹලා අපිට දාන නීති උඹලාම කඩනවානම් උඹලගේ නීති අපි මොකටද රකින්නේ කියලා පුරවැසියන්ට ප්‍රශ්නයක් තියෙනවා”

කතාව සහතික ඇත්ත ය. පුරවැසියන්ට පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. රට පුරා නිධන් හාරා, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කුහුඹු පුකක් තරම් වත් නොසළකා, මිනී මරා, කටුගෙදරටම පැන කඩු උස්සා, යකා නැටූ පුද්ගලයන් ඔහේ නිදැල්ලේ ඉද්දී, පොඩි තැන්වලින්ම මෙලෙස ජලය ගලා යන්නේ ඇයි දැයි ඔවුන්ට ප්‍රශ්නයක් තිබේ. සල්ලි තියෙන, බලය තියෙන අය නීතියෙන් රිංගා යන්නට නීතියේ හිඩැස් හොයාගනිද්දී, නීතියේ රැහැනින් ගැළවීමට මුදල් හෝ බලය යොදාගනිද්දී, එකී පහසුකම් නොමැති අය වුවමනාවට වඩා දඬුවම් විඳින්නේ ඇයි දැයි මිනිසුන්ට ප්‍රශ්නයක් තිබේ. උදයා පිටින්, ඇයට නිදහස දෙන්නට යැයි කියා, මේ සමාජ ජාල ඔස්සේ පුපුරා යමින් පවතින්නේ එකී කෝපයයි. එකී අසරණ වූ හෘද සාක්ෂීන්ගේ ප්‍රතිරාවයයි.

එහෙත් පිළිතුර නීතිය ක්‍රියාත්මක නොකර සිටීම නොව, සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම ය. නීතිය පිළිබඳ ලියන්නාගේ සේම අනෙක් අයගේද බිඳ වැටී ඇති විශ්වාසය ගොඩනැගීම ය. අපට තේරෙන අන්දමට ඈට ලැබිය යුත්තේ සමාවක් නොවේ. ඈට ලැබිය යුත්තේ “සාධාරණ” දඬුවමකි. මේ පවත්නා අපරාධයට දඬුවම් දීමේ “සිස්ටම්” එක හෙවත් ක්‍රමවේදය පිළිබඳ කෙතරම් ප්‍රශ්න තිබුණද “නීතිය ක්‍රියාත්මක විය යුතු ය” යන ආස්ථානයක ලියන්නා සිටින බව සඳහන් කළ යුතු ය. මන්ද යත් පවතින ක්‍රමවේදයන් වෙනස් කිරීම ‘සටාස්’ ගා මදුරුවකු තළනවාක් මෙන් කරනවාට වඩා ක්‍රමානුකූලව පිළිවෙලකට කළ යුතු දෙයක් බැව් සුපැහැදිලි කාරණාවක් බැවිනි. කෙසේ වෙතත් මෙලෙසින් එක් පුද්ගලයෙක්ගේ නාඩි වැටීම වෙනුවෙන් සංවේදීව විශාල පිරිසක් අත්වැල් බැඳගැනීම පිළිබඳව ලියන්නාට බලවත් සතුටක් තිබෙන බව ද කිව යුතු ය. වෙනස් වන්නේ ද වෙනස් කරන්නේ ද මේ අයුරිනි.

“අවවාදයට වඩා ආදර්ශය උතුම් ය” යන්න සේම “දඬුවම් දීම ට වඩා ඉගැන්වීම උතුම් ය” යන්න ද අතිශය වැදගත් බව අවසානයට ලියා තැබිය යුතු ම ය.

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

ගොන් කතාවක්

මෙහේ එකාලාට මෑතක පටන් වී ඇත්තේ අන්දරේට වූ හදිය ම ය. මඟුල් ගෙදර යන්නට පෙර ආඩම්බරකාර අප්පුච්චා ගොනා වාගේ ඉන්නට කියූ දා සිට මුං ගොනා වාගේ ම ඉන්නවා ය. අපරාදේ කියන්නට බැරි ය. ඉන්නවා විතරක් නොව අත් දෙකේම ඇඟිලි වලින් ඔළුවේ අං සාදාගෙන එකිනෙකාට ඇණ ගන්නට පවා යනවා ය. ඒ දැක මඟුල් ගෙදර කා බී නටමින් ගයමින් ප්‍රීති වෙන වැඩිහිටියන්ට හතර හිනා ය. කතාව ඒ මඟුලක් ගැන නොව ලංකාවේ ගොන්නු ගැන ය.

මෙහේ ගොන්නු ප්‍රතිශතයක් ලෙස ගත්තාම සෑහෙන වැඩි ලු ය. ගොන් ප්‍රභේද වලින් නා නා විධ, විවිධාප්‍රකාර ගොන්නු මෙහේ ඉන්නවා ලු ය. බත් කන හරක් කියා ලංකාවටම ආවේණික ප්‍රභේදයක් ගැන ද ලියන්නා කොහේදි හෝ අසා තිබෙනවා ය. ගොඩක් ගොන්නුන්ට පමණක් නොව ගොපල්ලන්ට ද විවිධ භාෂා වලින් උම්බෑ කීමේ හැකියාව තිබෙනවා ලු ය. ඔය කාට කාටත් ඒ බව සැකයි නම් රෑ නවයහමාරෙන් පමණ පසු රූපවාහිනියේ ගුවන් විදුලියේ පවා විවිධ භාෂා වලින් උම්බෑ කියන ගොන්නු සහ ගොපල්ලන් දැකීමට ඇසීමට හැකිය. ලියන්නා පත්තර කියවනවා සෑහෙන අඩු ය. එහෙත් කලාතුරකින් පත්තරයක් අතට ගත්තාම පොල්ගෙඩි අකුරින් පිටු පුරා උම්බෑ කියන ගොන්නු ලියන්නා දැක තිබෙනවා ය.

ලංකාවේ ගොන්නුන්ට නොතේරෙන එව්වා ද ගොඩක් තිබෙන්නේ ය. මතක් වෙන හැටියකට ඒවා මෙහි ලියන්නට ලියන්නා උත්සාහ කරනවා ය.

ගොන්නු හිතං ඉන්නේ හැමදාම උලා කන තණ බිම් උන්ගේ කියා ය. එහෙයින් හැමදාම තණබිම් වල අයිතිය රැක ගන්නට, ඒ අටමඟලෙම හිතාගෙන ඉන්නා වෙන වෙන ගොන්නු සමඟ ඇණ කොටා ගන්නවා ය. මේ එක ගොනෙක්ට වත් නොතේරෙන්නේ තණ බිම් මොන හරකෙක්ට වත් අයිති නැති බව ය. ඔළුවෙන් හිටගෙන කීවද, බීරි අලින්ට වීණා ගැහුවාට ඇහෙන්නේ නැතිවාක් මෙන් තණකොළ කා උම්බෑ කියන්නට පුරුදු ගොන්නුන්ට ඒවා කියා වැඩක් නැති ය. ඒ අව් අස්සේ ගොන්නු බලන ගොපල්ලන් ද තණ බිම් උන්ගේ බාප්පොච්චාගේ වාගේ හැසිරෙනවා ය. ගොනෙක් වැරදිලා වත් සීමාවෙන් පිට ගියොත් උන්ගේ රැස්පොට් බැලිය හැකිය. උන්දැලා එහෙම හිතාගෙන හිටියාට එව්වා උන්ටත් අයිති නැති ය. ඔය කොච්චර රැස්පොට් තිබ්බ ද ගොන්නු කෙතරම් කුළල් කාගත්තද ගොපල්ලන්ට වගක් වත් නැතිවාක් සේ ය. ආතල් එකේ තමන්ගේ වැඩක් බලාගෙන වස් දඬුවක් පිඹගෙන, කෑල්ලකට ලයින් දාගෙන උන් ඉන්නවා ය. ඉතින් ඇණ කොටාගන්න එකෙන් කෙළ වෙන්නේද ගොන්නුන්ට ය. එය නොතේරී තව තවත් මරාගන්නේ ද ගොන්නු ම ය.

ඔය කුමක් වුවත් ගොපල්ලෝ ගොපලු තනතුරට පත් වන්නේ කොහොමද යන කාරණාව ගොන්නුන්ට ඒ හැටි නිනව්වක් නැති පාට ය. එහෙම මෙව්වා එකක් තිබ්බ ද ඒ හැටි ගාණක් නැති පාට ය. ඔහේ වමාරා කමින් ඔළුව වනමින් ඉන්නවා ය. ලියන්නාට හිතෙන්නේ, ඒ ගොන්නු, තමන් ගොන්නු බව නොදන්නා නිසා කියා ය. මොකද මේ නිකම් ගොන්නු නොව ගොන් බබාලා නිසා ය. දෙන දෙයක් කා, වෙන දෙයක් බලාගෙන ඉන්නට මේ ගොන් බබාලා පට්ටටම කැමති ය. ඉඳහිට කරත්තයේ, බරබාගයේ බැන්ඳාම පොඩ්ඩක් කුණු කුණු ගෑව ද, බර අදින්නට පටන් ගත් විට ලෝස් නැතිව අයිතිකාරයාගේ අම්මාගේ අප්පුච්චාගේ පටන් පවුලේ බේබිලාගේ පවා බර අදිනවා ය. ඒ ගැන උම්බෑ ගාන්නට යන ගොනෙක් නැති ය.

මන්ද යත් ඒ උම්බෑ සද්දේ ජූංජක් හෝ වැඩි වුවහොත් පස්සට ගොපල්ලාගේ කෙවිටි පාර සුවර් බව හැම ගොනෙක් ම දන්නා නිසා ය. තත්වය එසේ වුව ද ඉඳහිට කණාවට වාගේ නාහෙට නාහන ගොන්නු ද සිටින බව කලාතුරකින් අහන්නට ලැබෙනවා ය. ඒ ද උන් සුද්දාගේ වෑන් වල යන චාරිකාවෙන් අනතුරු ව මස් කඩේට දැක්කුවාට ද පසුව ය.

“දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි ය” කියා කතාවක් ලියන්නා පොඩි කාලේ පටන් අසා තිබේ ය. මොකද එකී කතාවට මුල්වූ ගොන්නු දෙන්නාගෙන් එකෙක්ට මැස්සන් එළවීමට වලිගයක් තිබුණේ නැති නිසා ය. මැස්සන් කනවා දැනුණ ද එළවන්නට වලිගයක් නැති ය. මෙහේ ගොන්නුන්ට වෙලා තියෙන්නේ ද ඔය හා සමාන සංගදියක් ය. අයිතිකාර ඇත්තෝ ඔක්කෝගේම වලිගය කපාලා ය. ලියන්නාට හිතෙන්නේ දැන් දැන් ඉපදෙන වහු පැටවුන්ගේ පවා වලිගය ඉපදෙද්දීම කපනවා කියා ය. මොනා වුණත් හදිසියකට මැස්සෙක් මදුරුවෙක් එළවාගන්නට වලිගය නැති එක ගැන නම් පට්ට දුක ය.

ගොන්නු ගැන කියන්නට ගොන් කතා තවත් තිබෙනවා ය. ඒත් එහෙම කතා ඔක්කොම එකට ලියලා ද වැඩක් නැති ය. පස්සේ දවසක තවත් ගොන් කතා පුළුවන් වුණොත් ලියන්නම් ය.

අන්තිමට කියන්නට තවත් එකක් මතක් වුණේ ය. ඒ ගොන්නු කොපමණ සිටියද එළදෙනුන්ගේ හිඟයක් දැනෙනවා වාගේ ය. මොකද මෙච්චර හරක් ඉන්නා රටේ කිරිපිටි ගිනි ගණන් ඇයි ද කියා සකබග් උන්දෑගේ අඩවියේ පෝස්ට් එකක් හුවමාරු වෙනවා දුටු නිසා ය. එක අතකින් බැලුවාම ඒ හැටි පුදුමයක් ද නැති ය. මොකද මේක මහ අමුතු ඇටයක් නිසා ය. පඳුරකට පයින් ගැහුවාමද ඇස් දෙකටම ඇඬෙන්නට ආශ්චර්යය එළියට පනින නිසා ය.

මේ උම්බෑ කිව්වා හොඳටෝම ඇතිය. හදිසියේ වත් සද්දේ වැඩි වෙලා කංකරච්චලයක් වගේ වලව්වට ඇසුණොත් ලියන්නාගේද වලිගය කපා සුද්දාගේ වෑන් වල එක්ක ගොස් එලොව පොල් පෙන්නාවි යැයි ලියන්නාගේ මෑණියන්දෑ කීවා ය. එහෙම වුවමනාවක් ලියන්නාට තාම නම් නැති ය. මේ ගොන් අඩවියට ඇවිදිං ගොන් කතා කියවා යන ගමන් ඔය මොනා හරි කොටාගෙන යන එකෙන් ලියන්නාට තවත් ගොන් කතා ලියන්නට හිතේවි ය. ඒ නිසා ඕන ගොනෙක් කැමති ගොන් කතාවක් ඕන විදිහකට දාගෙන ගියාට ලියන්නාට අවුලක් නැති ය.

© 2014 Pamuditha Zen Anjana

යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!

ලංකාව; ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට, පෙරදිග ධාන්‍යාගාරය.. ඔන්න ඔහොමයි අපි ඒ දවස් වල ඉඳන් ඉගෙන ගත්තේ. ඒත් අද වෙද්දි, අපි නොහිතන විදිහේ විපර්යාස වලට ලක් වෙච්ච අපේ මව්බිම, අපි නොහිතපු විදිහට නිකම්ම නිකන් ම්ලේච්ඡයන්ගෙන් පිරුණු දූපතක් වේගෙන යන අපේ අනන්‍යතාවය… ඒක විනාශ වීගෙන යනවා. හැමෝම එකට මේ වගේ පුංචි දූපතක් ඇතුළේ ජීවත් වෙනවා කියන අදහසම දැන් මේ දවස් වල අන්තිම හුස්ම ටික ගන්න පණ අදිනවා. මොකද්ද වුණේ කියලා හොයලා බලද්දී එක හේතුවක් කියලා වෙන් කරලා අඳුරගන්න බැරි තරම්ම ඒක පැටලිච්ච නූල් බෝලයක් වෙලා.

කාලකණ්ණි යක්කු සේරම එකට එකතු වෙනවා එක දේකට. එක එක තැන් වලින් එක එක විදිහට එකතු වුණාට ඒ ඔක්කොම නවතින්නේ අන්තිමට එක තැනකට කියලා දැන් දැන් තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ දේ නවත්වන්න මොකද්ද කළ යුත්තේ කියලා තාම අපිටවත් හරියට නොතේරෙන එක. කූඩැල්ලන්ව මෙට්ටේ තියන්න බෑ වගේම මෝඩයන්ට තේරුම් කරන්නත් බෑ. අවියට අවිය කියන කතන්දරේ මේකට අදාළ නොවෙන්නේ ඔතනදී. උන් කරන දේම අපි කළොත් ඒක නිකම්ම නිකන් ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වෙනවා. වෙන විදිහකට මේකට විසඳුමක් සෙවිය යුතුයි.

ඔක්කොගෙම ඔළු විකෘති වෙලා පිස්සෝ වගේ මේ පොඩි රට ඇතුළේ දඟලනවා. එක එකා ළඟ ඉන්න එකාව මරාගෙන කන්න හදනවා. කවදාකවත්ම ඇහුණේ නැති අද්භූත කතා මේ වෙද්දි ඇහෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ දූපතේ ඉන්න ම්ලේච්ඡ ඔළු ඔක්කොම වගේ මේ වෙද්දි එකම විදිහකට හැඩ ගස්වලා ඉවරයි. එක තැනකින් හූ කිව්වොත් ඔක්කොම හූ කියාගෙන ඉවක් බවක් නැතුව යකා නටන්න ගනියි. ඒ වගේ අවස්ථා ගොඩක් අපි අත්වින්ඳා බොහොම මෑතකදි ඉඳන්. අදටත් අත් විඳිනවා.

අමු අමුවේ දරුණු කළකිරීමකින් තමා අද මේ දූපතේ හිර වෙලා ඉන්නේ. අපි අපි එකතු වෙන තැන් වල අපි අපේම රටක් හදාගෙන ඉන්නේ. සිංහල මුස්ලිම් දෙමළ භේදයක් නැතුව අපි ඔක්කොම එක බත් එක බෙදාගෙන කාලා ඉන්නවා. කවදාවත් උන්ගේ පල්ලියේ, කෝවිලේ කරන දෙයක් අපිට ප්‍රශ්නයක් වෙලා නෑ. උන්ටත් අපිව කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. හිතුණොත් මෙවා ඔක්කොම දාලා එකට ඉන්න එවුන් ටිකත් එක්කම වෙන රටකට යනවා. ප්‍රශ්න වලට විසඳුම් හොයන්න අවස්ථාවක් නැත්නම් ඉතින් ඒකෙන් පැනලා යන එක තමා කරන්න ඉතිරි වෙලා තියෙන හොඳම දේ.

මේවා ගැන බෞද්ධ අන්තවාදීන්ට (කට ඇරගෙන බලං ඉන්න දෙයක් නෑ. දැන් එහෙම එවුනුත් ඉන්නවා!) කිව්වම උන් ඉතිහාසය කබල් ගාන්න හදනවා. දුටුගැමුණු කාලෙදි හාමුදුරුවරු යුද්දෙට ගියා කියනවා. මේක ඉතිහාසය නෙමේ වර්තමානය. ඉස්සර හිටපු රජවරු හිටියා වගේ කාලයක් නෙමේ මේක. අනික දුටුගැමුණු කාලේ හිටපු හාමුදුරුවරු සිවුරු ඉරාගෙන ගහ මරාගත්තේ, හින්දු කෝවිල් කඩන්න ගියේ, කුණුහරුප කියාගෙන පාර දිගේ කටගොන්නක් බී ගෙන වැඩ දැම්මේ, දායකයන්ගේ දානේ තෙල අහිංසක මිනිස්සුන්ට පෙන්නුවේ නෑ.

ඒ වගේ එකෙක්ට මම කිව්වා තොට මරා රජ්ජුරුවෝ වගේ පෙණුනට අපිට එහෙම පේන්නේ නෑ. වරෙන් මේ පැත්තට අපි කොහොමද සමගියෙන් ඉන්නේ කියලා පෙන්නන්න කියලා. මාළිගාවත්තේ ප්‍රශ්නෙදී පන්සල් කඩන්න වෛශ්‍යාවන්ගේ පුත්තු එද්දී ඔය අහවල් බෞද්ධයෝ ටික තමා නැට්ට අහවල් එකේ ගහගෙන හිටියේ. අහල පහළ හිටපු මුස්ලිම් කොල්ලෝ ටික ආරංචිය ලැබුණු ගමන් අපේ පන්සලට එකතු වුණා.. “බයවෙන්න එපා මචං ඕකුන්ට පන්සල පැත්තේ එන්න දෙන්නේ නෑ!” උන් එක හඬින් කිව්වා. තොපි දන්නේ මොනවද යකෝ. නොදකින් කාඩ්බෝඩ් ඉන්ටනෙට් වීරයෝ!

මගේ ඉස්කෝලේ හොඳම යාළුවා මුස්ලිම්. උගේ පවුලේ නොතේරෙන පොඩි එකාගේ පටන් මට වෙසක් කාඩ් එවලා තියෙනවා… කඩෙන් අරන් නෙමෙයි.. අතින් හදලා! තේරෙන කමකට නෙමෙයි, ඒත් එහෙමයි උන් හිතන්නේ. තොපි කියනවා වගේ අහවල් එකක් උන් ලඟ නෑ. එක්කෝ ජීවිතේට මුස්ලිම් එකෙක් ලඟින් ආශ්‍රය කරපු නැති එවුන් දන්නේ නැති මඟුලක් කතා නොකර ඉන්න ඕනේ. මේක ලංකාව! උපන් දවසේ ඉඳන් අපේ අම්මලා තාත්තලා මිනිස්සුත් එක්ක හරි විදිහට ජීවත් වෙන හැටි උගන්නලා තියෙනවා. යමක් කමක් තේරෙන කාලේ ඉඳන් හැම ජාතියකම ආගමකම හොඳ යාළුවෝ මගේ ලඟින්ම හිටියා… තාමත් එහෙමයි! ජාතීන් අතර සමගිය පවත්වගෙන යන්න කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නෑ.. හිතේ තියෙන කුහක කම් නැති කර ගත්තම ඇති. පඟර නැට්ටෝ උඩුබිරුවට ඒ දේවල් නැති වෙන්නේ නෑ. හාමුදුරුවරු ගැන වැඩිය කතා කරන්නේ නෑ මොකද මොන අහවල් වැඩේ කළත් අපි තාමත් බුද්ධ චීවරේට ගරු කරන නිසා. නැත්නම් ජංගි ගැලවෙන, මයිල් ඉස්මයිල් වෙන කතා තියෙනවා මං ළඟ. හැම හාමුදුරු කෙනෙක්ම ඒ වගේ නෙමෙයි කියලා මම දන්නවා… ඒත් සසරෙන් ඉක්මණට එතෙර වෙන්න කියලා ශාසනේට ඇතුළු වෙන හාමුදුරුවරු පාරේ ගහ මරා ගත්තම ඉතින්, අනේ මන්දා සරත් කියලා ඔහේ බලා ඉන්නවා ඇර කරන්න දෙයක් කොහෙද?

උඹලා ගහ මරාගනිල්ලා උඹලා වගේම අන්තවාදී මුස්ලිම් එවුන් එක්ක. එක අහිංසකයෙක් හරි ඔය වගේ වැඩකදි අනතුරට ලක් වුණොත් අන්න එදාට උඹලාට දුවන්න පාරවල් හදා ගෙන තියා ගනිල්ලා! එදාට බෞද්ධයෝ, මුසල්මානුවෝ, කිතුණුවෝ, ද්‍රවිඩයෝ, විතරක් නෙමෙයි එකී නොකී හැම ආගමකම දහස් ගණන් සහෝදරයෝ තොපි වගේ ජාතිවාදීන්ගේ විකෘති ආශාවන්ට, විශ්වාසයන්ට විරුද්ධව පෙළ ගැහෙන්න සූදානමින් ඉන්නවා! ඒක මතක තියා ගනිල්ලා!

තෙරුවන් සරණයි!
එච්චරයි.

© 2012 Pamuditha Zen Anjana