විජයග්‍රහණය!

“කවුරුත් යුද්දේ දින්නේ නෑ.. මිනිස් ජීවිත දහස් ගණනක් නැති වෙන නැති කරන දෙයක් කවුරු කොහොමද දිනන්නේ?

යුද්දේ නිසා අනිත් මිනිස්සුන්ව මරපු මිනිස්සු, යුද්දේ නිසා අනිත් මිනිස්සු අතින් මැරුණු මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

යුද්දේ නිසා ජීවත් වෙන මිනිස්සු, යුද්දේ නැති නිසා ජීවත් වෙන මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

යුද්දේ පට්ට ඈතින් දැකපු මිනිස්සු, යුද්දේ හුස්මක් ළඟින් දැනුණු මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

නැත්නම් යුද්දයක් පටන් ගන්න කලින් ඉවර කරන යුද්දයක් ඇති නොවෙන්න වග බලාගන්න මිනිස්සු ද ජයග්‍රාහකයෝ?”

ඒ ලියන්නා ෆේස්බුක් එකේ දාපු ස්ටේටස් එකක්. ඕකට එක එක විදිහේ ප්‍රතිචාර ඇවිල්ලා තිබ්බා. ඒකෙන් වැඩියෙන්ම සිත් ඇදගන්නා සුළු කොමෙන්ට් එක වැටුණේ මෙහෙම.

“උබෙ තාත්ත දෙමළ ද..?”

අපේ රටේ අපේ සහෝදර මිනිස්සු ගැන කතා කරන්න තාත්තා දෙමළ වෙන්නම ඕනෙ ද? එහෙමත් නැත්නම් තාත්තා මුස්ලිම් වෙන්නම ඕනෙ ද? සිංහලයෙක්ට දාව ඉපදුණ එකෙක්ට දෙමළ එවුන් ගැන කතා කරන්න තහනම් ද? ඔක්කෝටම වඩා මනුස්සයෙක්ට දාව ඉපදිච්ච මනුස්සයෙක්ට වෙන මනුස්සයෙක් ගැන කතා කරන්න තහනම් ද?

ලියන්නාට හිතෙන්නෙම, ඒක තමා හරිම ප්‍රශ්නේ කියලා.. මේ වගේ අවුරුදු ගාණක් ඔඩු දුවපු තුවාලයක් ඇති වෙන්න හේතුවම තමා මේ හිතන විදිහ.. “උඹේ තාත්තා දෙමළ ද?” කියලා අහන එක ඇතුළෙම ඔය හැමෝම දහ අතේ හොයන දෙමළාගේ ප්‍රශ්නය තියෙනවා.. දමිළයොන්ට වෙනම පාලනයක් ඕනේ ඇයි.. ඒ කතාව ඇත්තද නැද්ද.. ඇත්ත හෝ නැත්ත වෙන්නේ කොහොමද කියන එක කරුණු කාරණා සහිතව සනාථ කරගෙන විසඳුමක් හොයාගන්න එක තමා කරන්න ඕනේ..

දැන් හදිසියේ වත් උන් ඒ කියන වෙනම පාලන කතාව ඇත්ත නම් තනි තනි පුද්ගලයන් විදිහට අපි කැමති ද ඒක දෙන්න, හෝ ඒ කතාව වැරදි නම් තනි තනි පුද්ගලයන් විදිහට උන් කැමති ද ඒක ඉල්ලා අස් කරගන්න කියන එක මත තමා යුද්දයක් ඇති වීම හෝ නැති වීම කියන කාරණාව බලපවත්වන්නේ..

එහෙම බැලුවොත් මේ යුද්දය පටන් ගත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳ කරුණු කාරණා “හරි හැටි” නොදත් අපි වගේ උන්ට මේක ඇතුළේ වාද කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..

ආයේ එන්නේ කිකිළිද බිත්තරේද මුලින් ආවේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි ද?

අපි කරන්න ඕනේ අතීතය සිහිපත් කරනවට වඩා එකිනෙකාගේ ප්‍රශ්න ගැන සංවේදී වෙන එක.. මේ රටේ “මහ ජාතිය” විදිහට හැඳින්වෙන සිංහලයට මේ පිළිබඳව තියෙන වගකීම වැඩියි.. සහෝදරත්වයේ දෑත් දික් වෙන්න පටන් ගන්න ඕනේ දකුණෙන්.. අමතක කරන්න අමාරු අතීතය අතෑරලා අනාගතයට පියවර තියන්න පටන් ගන්න ඕනේ අපෙන්.. බෝම්බ ගහලා අහිංසක මිනිස්සු මරන්න තීරණය කරපු බල ලෝභියෝ ගැන මතකය හාර අවුස්සමින් ඔඩු දුවපු තුවාලෙට බෙහෙත් කරනවා වෙනුවට ඒකට කෝටු කෑලි වලින් අනින එක නවත්තන්න ඕනා අපි.. නැවත ඔවුන්ගේ විශ්වාසය දිනාගත යුත්තේ අපි..

ඒත් අපි නොකරන්නෙම ඒක.. ඔවුන්ගේ මානුෂිකත්වය පිළිබඳව ඔවුන් පිළිබඳව සංවේදී වෙනවා වෙනුවට අපි කරන්නේ අපේ හයිකාරකම් පෙන්නන එක නෙමෙයි ද? අපේ ලොකු කම පෙන්වන එක නෙමෙයි ද? උදාහරණයක් විදිහට පහුගිය දවස් වල දෙමළෙන් ජාතික ගීය කියන්න අවසර දුන්නම ගොඩක් උන් නොසෑහෙන්න විරුද්ධ වුණා.. මෑතකදී විශ්ව විද්‍යාලයක මේක නිසා ගහ මරාගැනීමකුත් වුණා..කොටි ආයේ නැගිටිනවා කිව්වා.. ඔන්න කරලා තියෙන්නේ කිව්වා.. වෙන රටවල එහෙම වෙන්නේ නෑ කියලා පෙන්නන්න දාහක් උදාහරණ දෙන්න හැදුවා.. ඔය විරුද්ධ වුණ කී දෙනෙක් කැමති ද තියෙන ජාතික ගීයට දමිළ බසින් පේළියක් වත් එකතු කරන්න? වෙන රටවල වෙන විදිහටම ද අපේ රටෙත් වෙන්න ඕනේ? මේක වෙන වෙන රටවල උන්ගේ රටක් නෙමෙයි.. අපේ රට.. එහෙම නම් අපිට ඇයි බැරි වෙනස් කරලා පෙන්නන්න?

ආයෙමත් හිතලා බැලුවම නෑ නෑ උඹලා තාම දෙවැනි පංතියේ පුරවැසියෝ කියලා නොකියා කියන්නෙම අපි නෙමෙයි ද?

මේ එකිනෙකා පිළිබඳව සංවේදී වීම ගැන ලස්සනම කතාව කිව්වේ ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ.. පහුගිය වෙසක් දවසේ නිකුත් කළ වීඩියෝවකින් උන්වහන්සේ ඉතිහාසය සිහිපත් කරමින් වෛරය පවත්වාගැනීම නොකළ යුත්තේ ඇයි කියන එක පිළිබඳව ලස්සන පණිවිඩයක් ලබා දුන්නා.. කැමති කට්ටියට බලන්න ඒකත් පහතින් අමුණන්නම්..

ඊළඟට මේ පහතින් අමුණන්නේ පෙරකී ස්ටේටස් එකට වැටුණු තවත් කොමෙන්ට් එකක්.

“යුද්දෙ නිසා දින්නෙ ත්‍රස්තවාදයෙන් බැටකෑ මිනිස්සු. යුද්දෙන් දින්නෙ බයෙන් සහ සැකයෙන් ජීවත් වුනු මිනිස්සු. යුද්දයක් තිබ්බෙ යුද්දයක් වලක්වන්න. ඒ යුද්දෙන් දිනපු නිසා ඊට වඩා බයානක අදුරු යුද්දයකට යන්න තිබුන මං මාවත් නැති උනා . යුද්දයක් පටං ගන්නෙ නැතිව ඉන්න එකයි හොදයි නමුත් යුද්දයක් අවසන් කරන්න යුද්ද කරන්න වෙනවා . යුද ජයග්රහනය හෑල්ලු කරන්න එපා. යුද්දය නරක උනාට අද මේ නිදහස් හුස්ම විදිනෙ දෙමලත් සිංහලයත් එකම විදියට අන්න එහෙව් යුද ජයග්‍රහණය නිසා”

ඇත්තටම, යුද්දේ වළක්වන්න යුද්ද කරනවා කියන එකම විහිළුවක් කියලා අපිට නොහිතෙන්නේ ඇයි..? ඒකත් හරියට කන්‍යා භාවය රැක ගන්න සංසර්ගයේ යෙදෙනවා වගේ නෙමෙයි ද? ලියන්නාට හිතෙන විදිහට මිනිස්සු බරගාණක් මැරුණ තැනක ජයග්‍රහණයක් තියෙන්න බෑ.. නැති ජයග්‍රහණයක් හෑල්ලු කරන්නේ කොහොමද?

යුද්දයක් ඉවර කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා.. එකක් දෙපැත්තම එකඟ වෙලා යුද්ද කරන එක නවත්තන එක.. ඊළඟ එක, එක පැත්තක් සමූල ඝාතනය කරන එක.. අනෙක තමා අපි කළේ.. දහස් ගාණක් මිනිස්සු තම තමන්ගේ ජීවිතය අත ඇරලා මැරීගෙන, තුන්කාලක් මැරුවා.. කාලක් ඉතුරුවෙලා යටත් වුණා..

යුද්දේ පටන් ගත්තේ ඇයි කියලා උඹලට අපිට තාමත් හරි හැටි තේරෙන්නේ නෑ.. මොකද අපි ළඟ තියෙන්නේ “ජයග්‍රාහකයාගේ” ඉතිහාසය.. මම කියන්නේ බෝම්බ පුපුරපු මෑත ඉතිහාසය නෙමෙයි.. ඊට එපිට ඈත ඉතිහාසය කියන කෑල්ල.. යුද්දයක් ඇති වෙන්න හේතු වුණ ප්‍රශ්නේ ගැන තාම මේ රටේ මිනිස්සු හරි හැටි උනන්දුවක් නෑ.. දකුණේ එවුන් දන්න දේම නෙමෙයි උතුරේ එවුන් දන්නේ.. දකුණේ එවුන්ට උගන්නපු දේවල්ම නෙමෙයි උතුරේ එවුන්ට උගන්නන්නේ.. ඇයි මේවා දෙකක්.. දකුණේ එක විතරක් හරි කියලා තර්ක කරලා වැඩක් නෑ.. උතුරේ එක විතරක් හරි කියලා තර්ක කරලා වැඩක් නෑ.. දෙපැත්තෙම උන් කිසිම දෙයක් භාර ගන්න විවෘත නෑ.. මෙව්වා වෙනස් වෙන්න ඕනේ..

දෙමළ සිංහල දෙකේම ගොඩක් උන් හෙණ මාන්නක්කාරයි.. සමහරවිට ලංකාවේ උන්ගේ හැටියක් වෙන්න ඇති ඒක.. අනිත් එකාට කෙළ කරලා තමන් උඩ යන්න තමයි ගොන් හැතිකරේ තාම මාන බලන්නේ..

දෙමළ උන් මැරිච්ච දෙමළ උන් සමරද්දී සිංහල ගොන් හැතිකරේ කෑ ගහනවා “අන්න කොටි සමරනවා!” “ආයේ කොටි නැගිටිනවා!” අරකද මේකද කියලා(හැමෝම නෙමෙයි, ඒත් මට හිතෙන විදිහට ප්‍රතිශතයක් විදිහට වැඩියි).. සිංහල උන් හමුදාවේ මැරිච්ච උන් සමරද්දී දෙමළ ගොන් හැතිකරේ කෑ ගහනවා “අන්න මිනීමරු හමුදාව සමරනවා!” “අපේ උන්ව මරපුවා සමරනවා!” කියලා(හැමෝම නෙමෙයි, ඒත් මට හිතෙන විදිහට ප්‍රතිශතයක් විදිහට වැඩියි).. දෙපැත්තෙම උන්ට අමතකයි මේ මැරුණේ උන්ගේ රටේ මිනිස්සු කියලා..

එල්ටීටීඊ එකට බැඳුණ උන් මිනිස්සු නෙමෙයි ද? උන් මනුස්ස අම්මලට දාව ඉපදුණු ළමයි නෙමෙයි ද? උන්ගේ අම්මලට, තාත්තලට, නෑදෑයොන්ට, යාළුවොන්ට උන් මැරුණු එක සිහිපත් කරන්න බැරිද? ඒක සමරන්න බැරි ද? ත්‍රස්තවාදීන් විදිහට මැරිච්ච උන් ගැන සංවේදී වෙන්න අමාරු ඇති.. ඒත් අඩුම තරමේ උන්ගේ අම්මලා තාත්තලා, නෑදෑයෝ, යාළුවෝ ගැන සංවේදී වෙයල්ලා.. ඒ මොකක් හරි මඟුලක් නිසා මැරුණේ උන්ගේ ළමයි, නෑදෑයෝ, යාළුවෝ.. ඇයි උන්ට උන්ගේ එවුන් සමරන්න තියෙන අයිතියට තහංචි දාන්නේ?

උන් නොමග ගිය එක ගැන නොමග ගිය විදිහ ගැන, (නොමග යෑම කියලා මම අදහස් කරන්නේ ආයුධ අතට ගත්තු එක, මිනී මරපු එක) නොමග යවපු එවුන් ගැන නෙමෙයි අපි කතා කරන්නේ, අපි කතා කරන්නේ කවුද වැඩියෙන් මිනිස්සු මැරුවේ කියන එක ගැන.. එහෙම නෙමෙයි ද? මිනිස්සු වැඩියෙන් මරපු උන් හරි මිනිස්සු අඩුවෙන් මරපු උන් හරි ජයග්‍රාහකයෝ වෙන්නේ කොහොමද? දෙගොල්ලොම අන්තිමට කරගෙන තියෙන්නේ මේ රටේ තරුණ ජීවිත දහස් ගණනක් නැති කරගත්තු එක, තරුණ ජීවිත දහස් ගණනක් මරාගත්තු එක නෙමෙයි ද?

ඇයි මුන් දෙගොල්ලොන්ටම බැරි යුද්දේ නිසා මැරිච්ච දෙපැත්තෙම උන්ව සිහි කරලා දුක් වෙන්න? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයපල්ලා.. උඹලටත් මටත් විතරක් බෑ.. ඒත් අපි හොයමු.. තව උන් එකතු වෙයි.. ඒ ප්‍රශ්නෙට උත්තරේ හැමෝම දන්න, පිළිගන්න දවසට සමහරවිට ඔය කියන යුද (වි)ජයග්‍රහණය ඇත්තටම අපි ළඟ තියෙයි..

යුද්දේ දින්නා නෙමෙයි යුද්දේ ඉවර කළා.. ඇත්තටම යුද්දේ දින්නා වෙන්නේ අපි අපේ සහෝදර මිනිස්සු දිනාගත්ත දවසට..

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

පසු ලිවීම:

එකඟ කට්ටිය, කුතුහලයක් තියෙන කට්ටිය, සහෝදරත්වය හිතේ තියෙන කට්ටිය මැයි දහ නවය හවස හතරට නෙළුම් පොකුණ ගාවට ඉටි පන්දමක් අරන් එන්න.. අපි යුද්ධයෙන් දුක්විඳි, මියගිය සියලු මිනිසුන් වෙනුවෙන්, සහෝදරත්වයේ දිනය ඒකාලෝක කරමු!

එන්න අපි රටට වැඩ කරමු!

පසු දිනෙක සමීප සගයන් කිහිප දෙනෙකු සමග පවත්නා වාතාවරණය පිළිබඳව කතා කරත් දී වැටහුණු කාරණා කිහිපයකි. ඒවා ඔබටත් වැදගත් වේ යැයි සිතන නිසාවෙන් මෙසේ සටහන් කර තබන්නෙමි.

පළමුවෙන්ම;

මහින්ද රාජපක්ෂ මිනිසුන්ට පරාජය වුණේ ය. යුද්ධය දිනවීමට රට මෙහෙයවූ නායකයා නොව, මෙතෙක් කල් මිනිසුන් පාගා දමමින් තම මනෝ රාජික ෆැන්ටසි සියල්ල ඔවුන්ගේ ලේ, කඳුළු, බඩගින්න මතින් ගොඩනගමින් හුන් මහින්ද රාජපක්ෂ මිනිසුන් අතින් පරාජයට පත් වී ය.

ඒ සමගම වූ දෑ කිහිපයකි. අයුතු ලෙස භාවිතා වෙමින් තිබූ බලය ඔහු අතින් වෙනත් අතකට හුවමාරු වුණි. (හුවමාරු වූ අත ගැන පසුව කතා කළ යුතු ය. එහෙත් ඊට වේලාසන වැඩිය.) රටේ උතුරු, නැගෙනහිර ජීවත් වූ ජනයා තම ඡන්ද බලය පාවිච්චි කිරීම නිසාවෙන් උරණ වූ ජාතිවාදී මහින්ද පාක්ෂිකයෝ කටකතා යවමින් ඩෙඟා නටන්නට වූ හ. රටට වැඩ කරමු කියා පෙරට ආ සියල්ලෝම අතුරුදන් වූ හ. අපේ සංවේදී නායකයාගේ සංවේදී අනුගාමිකයන් “මරලා හරි ගත්තේ නැත්තේ ඇයි?” කියා ඇසූ හ. ජාතිය බේරාගත් නායකයා යැයි විරුදාවලි ලත් මහින්ද රාජපක්ෂ තව දුරටත් තමන්ගේ මෘග දේශපාලනය මේ යැයි පසක් කර දෙන්නට “ප්‍රජාචන්චරවාදය” ගැන බයිලා ස්වල්පයක් ගසා “සිරිසේන දින්නේ ඊලාම් ඡන්ද වලින්” යැයි විළි ලජ්ජාවක් නොමැතිව ජනතාව ඉදිරියේ කීවේ ය.

දෙවනුව;

මෛත්‍රීපාල සිරිසේන දින්නේ අති විශාල ඡන්ද ප්‍රතිශතයකින් නොවේ ය. මෙහිදී පරහකට ඇත්තේ ද එයම ය. මහින්ද රාජපක්ෂ දැන් ඔහුගේ අනුගාමිකයන් අවුස්සමින් සිටියි. පහත් මට්ටමේ ඡන්ද ගුණ්ඩු දමා, නරුම ජාතිවාදය අවුස්සා, ලේ හළා හෝ බලය රැක ගැනීමට ඔහු දත කයි. ඔහුගේ පමණක් නොව, විමල් වීරවංශගේ, නිමල් සිරිපාලගේ ඡන්දෙන් පසු කළ කතා වල ඊට උදාහරණ ඕනෑ තරමක් දැකිය හැකි ය. මේ බලයට කෑදර පෙරේතයෝ ය. එසේත් නැත්නම් බලයට ඇබ්බැහිවූ අසරණයෝ ය. කුඩු වලට ඇබ්බැහි වූවෝ කුමක් හෝ කර කුඩු සොයන්නාක් මෙන්, මොවුහු කුමක් හෝ කර බලය ලබාගන්නට තැත් කරති. දූෂිත දේශපාලනයෙන් මිදෙන්නට නම් ඔවුන් පුනරුත්ථාපනය කළ යුතු ය. ඔවුන් එළවා දමා, අලුතින් හිතන, අදහස් වලට ඉඩ දෙන, නිවරදිව වැඩ කරන, හොරකම් නොකරන අය මීළඟ මහ මැතිවරණයේ දී පත් කරගත යුතු ය. ඒ බලය ඇත්තේ අලුතින් පත් වූ “පුරවැසියන්” වන (මෙතෙක් කල් බොහෝ දෙනා තමා යටත්වැසියන් ලෙස වරදවා සිතා සිටි බව ලියන්නාට මතක ය,) ඔබ අප අතේ ය. නිවරදි තීරණ ගතහොත් එහි ලොකු අවුලක් වන එකක් නැත.

ඊළඟට;

මෙතෙක් කල් රටට වැඩ කරන්නට හඬ ගැසූ කට්ටියට කුමක් වූයේ ද කියා සොයා බැලිය යුතු ය. ඔවුන් ඇත්තටම රටට ආදරේකට එසේ කීවා නම්, හුදෙක් නායකත්වයක් වෙනස් වූ පමණින් ගුහා වලට වී සැඟව හිඳින්නේ නැත. තමන්ගේ සක්‍රීය දායකත්වය රට හැදීමට යොදවන අයෙක් එසේ පළා යන්නේ නැත. එසේ නිවරදි, යහපත් වුවමනාවකින් සිටි අයෙක් මෙවන් අවස්ථාවක කරන්නේ, රට හැදීමට තමා හොඳ යැයි සිතන කරුණු කාරණා, අදහස් උදහස් සියල්ල පත්වුණු නායකත්වය වෙත යොමු කර. තමා පවත්නා නායකත්වයේ වැඩ පිළිබඳ අවධානයෙන්, අවදියෙන් සිටින බව පවසා, රට වෙනුවෙන් සිදු කෙරෙන ඕනෑම කටයුත්තකදී තමාගේ සහය ද, රට වනසන්නට යන්නේ නම් ඊට තමාගේ උපරිම විරෝධයද තිබෙන්නේ යැයි කියා පෑම ය.

එහෙත් මෙසේ කියූ බොහෝමයක් දෙනා අවස්ථාවාදී, කුහකයන් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. රට හදන්නට යැයි කියා රටටම පේන්නට රාජපක්ෂට කඩේ ගිය අයවළුන් දැන් සොයාගන්නටවත් නැත්තේ ඒ නිසා බව ලියන්නාගේ පුද්ගලික අදහසයි. ඒ පිළිබඳ සොයා බලා ඔවුන් කවුද යන්න තීරණය කිරීම කියවන ඔබට භාර ය.

අවසානයට;

කොටි (මින් ඔවුන් අදහස් කරන්නේ දමිළ ජනයා බව පිළිකුළෙන් සළකන්න.) ඡන්ද වලින්, මුස්ලිම් ඡන්දවලින් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළා, මුන් රට බෙදන්නට යනවා යැයි කියන “සිංහල බෞද්ධ” කියාගන්නා අයට කියන්නට යමක් තිබේ.

ඔය උතුරු නැගෙනහිර ඡන්ද ටික අයින් කළද මෛත්‍රීපාල සිරිසේන පැහැදිලි ජයක් ලබා තිබේ. ඔබලාට වුවමනා දේ ඔබලාට නොතේරී වුවද සිදු ව තිබේ. රට බෙදන්නට අවශ්‍ය වන්නේ සියල්ලන්ටම සමාන අයිතිවාසිකම් නැත්තේ නම් පමණි. රට නොබෙදෙනවා යන්නෙහි වක්‍රාකාර අදහස නම් උතුරු නැගෙනහිර සියල්ලන්ටම පුරවැසියන් වශයෙන් සමාන අයිතිවාසිකම්, වරප්‍රසාද ලැබීමයි. එවිට රට නොබෙදී සියළුම දෙනාට එකමුතුව සිටීමේ වාතාවරණයක් සැළසෙනු ඇත.

මෙහිදී සිදු ව ඇත්තේ ද එය නොවේද යන්න ඔබ ඔබේ සිතට තට්ටු කර අසා බලන්න. කේ.පී. කරුණා අම්මාන් වැනි කොටි ත්‍රස්තවාදීන් රක්ෂා කළ රාජපක්ෂට එරෙහිව උතුරු නැගෙනහිර අපේ මිනිස්සු තම ඡන්ද බලය පාවිච්චි කළ හ. අනෙක් අතට කවදාවත් නොවූ පරිදි “සිංහල බෞද්ධ” නායකයෙක් අවුලක් නැති යයි ඔවුන් නොකියා කියා තිබේ. මෙය ඉතාම ප්‍රගතිශීලී තත්වයක් බව ලියන්නාට පුද්ගලිකව හැඟේ. මන්ද යත් මෙසේ ඡන්දය පාවිච්චි කිරීමෙන් ඔවුහු, තමන්ට ද නිදහස් රටක ජීවත් වන්නට අවැසි බව හඬගා ප්‍රකාශ කර තිබේ. එයට අප ඔබ ගරු කළ යුතු ය. ජය පරාජය සමව භාර ගැනීමට සැවොම සූදානම් විය යුතු ය.

කරුණාකර මෙතැන් පටන්, බලයේ කෑදර කමින් උන්හිටිතැන් අමතක වී වියරුවෙන් කෑ ගසන මහින්ද රාජපක්ෂ නම් නරුම දේශපාලකයා වෙනුවෙන් වේදිකාවක් තනා දීමෙන් වළකින්න. ඔහු මේ කරන්නේ ඔබ ලවා කොස් ඇට බාවන්නට උත්සාහ කිරීමයි. පෙරදී රාජ්‍ය බලය, යුධ හමුදාවේ බලය, විශේෂයෙන්ම බොහෝ මාධ්‍ය වල බලය ඔහු අතේ තිබුණු නමුත් දැන් සිටින්නේ ඒ කිසිවක් නොමැතිව යන්නට පාරක් සොයන පරාජිතයෙකි. ඔහුට පාර තනා නොදෙන්න.

සෝෂල් මීඩියා වලින් ඔහු පරදන්නට දුන් අවධානය දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත හරවන්න. ඔහුගේ වැඩ කටයුතු පිළිබඳ අවධානය යොමු කරන්න. ඔහු වැඩ කරන්නේ කෙසේ ද, දුන් පොරොන්දු ඒ අයුරින් රකිනවා ද, ඉදිරි වැඩ පිළිබඳ ඔබේ අදහස් මොනවා ද, රට හදන්නට ඔබට දායකත්වය දිය හැක්කේ කෙසේ ද යන කාරණා වලට ඔබේ සම්පූර්ණ අවධානය යොමු කරන්න. වැරදි තැන දී නොබිය ව හඬ නගන්න. නිවරදි තැන දී පසසන්නට අමතක නොකරන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නිවරදිව වැඩ කරන තාක්කල් අර පරාජිත උම්මත්තකයාට කළ හැකි ලබු කැටයක් නොමැත. අපි නිරන්තරයෙන් අවදියෙන් අවධානයෙන් සිටිමින් මෙය ගොඩ නගන්නට සක්‍රීයව දායකත්වය දෙන්නට ක්‍රියා කරමු!

කරුණාකර මෙය වටහාගන්න. පැරදුණේ සිංහල බෞද්ධ ඔබ නොවේ. පැරදුණේ ඔබ කොටවන්නට, කොටවා තමාගේ බලය රැකගන්නට වියරුවෙන් දඟලන රාජපක්ෂ ය. ඔබ ඇත්තටම සතුටින් ඉපිළිය යුතු ය.

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana