“වරදට සමාව දෙන” මිනිසුන් ඕනෑ කර තිබේ!

උදයා සීගිරිය නැග්ගා ය. නගින අනෙක් අය මෙන්ම වටපිට බලමින් අවට සිරි නරඹමින් පතරංග ගලක් තරණය කළා ය. තරණය කරන අතරමග, සිංහල, දමිළ, ඉංග්‍රීසි, භාෂා තුනෙන්ම “අල්ලන්න එපා” කියා සඳහන් කළ බෝඩ් ලෑලි එල්ලා තිබූ පත සයිස් දිළිසෙන තාප්පයක ඈ ගලකින් සූරා නමක් සටහන් කළා ය.

“මෙහි කුණු දැමීම බල්ලන්ට පමණි” කියා බෝඩ් එල්ලා තිබෙන තැනෙක, බල්ලන් පැමිණ කුණු දමා යනවාක් සේ, “මෙහි මුත්‍රා කිරීම බල්ලන්ට පමණි” කියා ලියා ඇති තාප්පෙකට, බල්ලන් ඇවිත් මුත්‍රා කර යනවාක් සේ, “මෙහි දැන්වීම් ඇලවීම තහනම්” කියා ලියා ඇති පොදු ස්ථානයක, බල්ල- සමාවන්න- යම් පුද්ගලයන් ඇවිත් පෝස්ටර් උඩ පෝස්ටර් අලවා යනවාක් සේ, “දිය නෑම අනතුරු සහිතයි” යනුවෙන් සඳහන් තැන්වලම දියබුං ගසන්නට යනවාක් සේ, “තීන්ත වේළී නැත” කියා බෝඩ් ගසා ඇති අළුතින් තීන්ත ආලේප කර ඇති ගේට්ටුවක ඇඟිලි ගසා තීන්ත වේලී නැත්දැයි බලනවාක් සේ, එපා කියන දේම කරන ශ්‍රී ලාංකීය “බබාලා” සේ, ඈ අතගාන්නට එපා කී පවුරේ නමක් සටහන් කළා ය.

අවුල වූයේ පෙරකී කවරකටත් වඩා මේ පවුර වැදගත්කමක් ඉසිලීමයි. ඒ වැදගත්කම පුරාවිද්‍යාත්මක එකක් වීමයි. එක්දාස් හාරසිය බරගණන් වලටත් ඉස්සර ඈත අතීතයේ ගල තරණය කළ දූපත් වැසි සංචාරකයෝ කුරුටු ගෑ කවි එක්දාස් බර ගණනකින් ඒ පවුර වැසී තිබීමයි. ඒ සංචාරකයන්ගේත් මේ උදයා නමැති සංචාරිකාවගේත් කුරුටු වල වෙනස හා වැදගත්කම කුමක්දැයි ප්‍රශ්න කළ යුත්තේ තව අවුරුදු එක්දාස් බර ගාණක් ගිය විට සිටින්නාවූ මිනිසුන්ගෙන් ය. අපට එහි වෙනස කීමට සත්‍යය වශයෙන්ම නොහැක.

උදයා ජාතියෙන් ද්‍රවිඩ වීමවත්, කාන්තාවක් වීමවත්, දුප්පත් වීමවත්, නීතිය නොදැන සිටීමවත්, ඈ කළ වරද නොසළකා හැරීමට හෝ සමාව දී නිදහස් කිරීමට කිසිම අයුරකින් හේතුවක් නොවේ. එහෙත් අප මෙහිදී බැලිය යුත්තේ මේ වරද ජීවිතයක් අඳුරු කර “සීගිරියෙන් බිමට තල්ලු කිරීමට” තරම් දරුණු වරදක් ද යන්න ය.

ලංකාවේ සිර ගෙවල් පිළිබඳව අප හොඳින් අසා තිබේ. කුඩා කළ පාසලේ ක්ෂේත්‍ර චාරිකාවලින් ද, පසුව රූපවාහිනියේ ද සිරගෙවල් ඇතුළත පිළිබඳ අපි දැක අසා ලැබූ අත්දැකීම්, කයි කතන්දර එමට ය. සුළු වරදවලට සිර දඬුවම් ලැබූවන්, දඬුවම් විඳ, දරුණු අපරාධකරුවන් ව කළ එළි බසිනයුරු අප අසා තිබේ. ඇප වශයෙන් රුපියල් සීය දෙසීය ගෙවා ගත නොහැකිව දිගු කාලයක් සිර දඬුවම් විඳින්නවුන් පිළිබඳව ද අප අසා ඇත්තෙමු. සිර ගෙවල් තුළ ගෙවන යම් කාලයකට අනතුරුව, වරදක් පිළිබඳ පසුතැවීමෙන් එළියට එන පුද්ගලයා ඒ නිසා නැවත වරදක් නොකර සිටීමට තරම් පුනරුත්ථාපනයකට ලක් වන ආකාරය පිළිබඳ සුරංගනා කතා වැනි කතා අප ඕනෑ තරම් අසා ඇත. එහෙත් එසේ පසුතැවීමෙන් එළියට පැමිණ යළි වරදක් නොකරන පුද්ගලයන් අප දැක ඇත්තේ අතේ ඇඟිලි ගණනට ය. අතිශය බහුතරයක්, එනම් සිය දහස් ගණනක් සිර දඬුවම් විඳ එළි බසින්නේ, පාතාලේ “තද කකුල්” දෙක තුනක් අතගා සමහරවිට “කකුලක්” බවට පරිවර්තනය වෙලා බව නම් ඕනෑ තරම් දැක අසා ඇත්තෙමු. පිරිමි ගැහැණු වෙනසක් නැත. දෙකේම තත්ත්වය එසේ ය.

මඩකලපුවේ හිඳ පැමිණි, මීට පෙර කිසිදු සිර දඬුවමක් නොවිඳි, අපරාධයකට ලාවට වත් ගෑවී නැති උදයා අවුරුදු දෙකක් හිරේ යන්නට සූදානම් වන්නේ මෙවන් තත්වයක් යටතේ ය. ඇයට ලබා දී ඇති දඬුවමේ සාධාරණත්වය ප්‍රශ්න කෙරෙන්නේ මේ තත්ත්වය යටතේ ය. ඈට ලැබී ඇති දඬුවම “සීගිරියෙන් පහළට තල්ලු කිරීමක්” වෙන්නේ එනයිනි. ඈට ලැබුණු දඬුවම නැවත සළකා බැලිය යුතු වන්නේ එබැවිනි.

නීතිය පිළිබඳව මෙන්ම නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව පැහැදිලි ලෙසම ප්‍රශ්න ගණනාවක්, නොපැහැදීම් ගණනාවක් අප සිත් තුළ තිබේ. යම් වරදවලට සිර දඬුවම් දීමට නීති සැකසී ඇත්තේ එය බොහෝ කාලයක පටන් පැවත එන සමාජ සංශෝධන ක්‍රමවේදයක් නිසා ය. ඉන් වරදට පෙළඹෙන්නෝ එකී වරද කිරීමෙන් ලැබෙන ප්‍රතිවිපාක සිහිවීමෙන්, දඬුවමට ඇති බිය නිසා වරද කිරීමට පෙළඹෙන්නේ නැති බව එහිදී නැගෙන තර්කයයි. එහෙත් මෙකී ක්‍රමවේදය පිළිබඳව උපහැරණ දීමට, අන් අයටත් ආදර්ශයක්, පාඩමක් වීම උදෙසා මෙසේ මනුෂ්‍යයෙකුගේ අනාගතයක් අනතුරේ හෙළීම මේ මොහොතේ ප්‍රශ්න කෙරෙමින් පවතී. මේ යෝජනා කෙරෙන්නේ වෙනත් ක්‍රමවේදයක අවැසිතාවයක සේයා දැයි කල්පනා කර බැලීම වටී.

මෙහිදී සන්නස්ගලයන් අයිටීඑන් එකේ පත්තර කියවන්නට ඇවිත් කියූ කතාවක් සිහි වේ.

“පුරවැසියන් වන අපව පාලනය කිරීම සඳහා උඹලා අපිට දාන නීති උඹලාම කඩනවානම් උඹලගේ නීති අපි මොකටද රකින්නේ කියලා පුරවැසියන්ට ප්‍රශ්නයක් තියෙනවා”

කතාව සහතික ඇත්ත ය. පුරවැසියන්ට පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. රට පුරා නිධන් හාරා, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කුහුඹු පුකක් තරම් වත් නොසළකා, මිනී මරා, කටුගෙදරටම පැන කඩු උස්සා, යකා නැටූ පුද්ගලයන් ඔහේ නිදැල්ලේ ඉද්දී, පොඩි තැන්වලින්ම මෙලෙස ජලය ගලා යන්නේ ඇයි දැයි ඔවුන්ට ප්‍රශ්නයක් තිබේ. සල්ලි තියෙන, බලය තියෙන අය නීතියෙන් රිංගා යන්නට නීතියේ හිඩැස් හොයාගනිද්දී, නීතියේ රැහැනින් ගැළවීමට මුදල් හෝ බලය යොදාගනිද්දී, එකී පහසුකම් නොමැති අය වුවමනාවට වඩා දඬුවම් විඳින්නේ ඇයි දැයි මිනිසුන්ට ප්‍රශ්නයක් තිබේ. උදයා පිටින්, ඇයට නිදහස දෙන්නට යැයි කියා, මේ සමාජ ජාල ඔස්සේ පුපුරා යමින් පවතින්නේ එකී කෝපයයි. එකී අසරණ වූ හෘද සාක්ෂීන්ගේ ප්‍රතිරාවයයි.

එහෙත් පිළිතුර නීතිය ක්‍රියාත්මක නොකර සිටීම නොව, සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම ය. නීතිය පිළිබඳ ලියන්නාගේ සේම අනෙක් අයගේද බිඳ වැටී ඇති විශ්වාසය ගොඩනැගීම ය. අපට තේරෙන අන්දමට ඈට ලැබිය යුත්තේ සමාවක් නොවේ. ඈට ලැබිය යුත්තේ “සාධාරණ” දඬුවමකි. මේ පවත්නා අපරාධයට දඬුවම් දීමේ “සිස්ටම්” එක හෙවත් ක්‍රමවේදය පිළිබඳ කෙතරම් ප්‍රශ්න තිබුණද “නීතිය ක්‍රියාත්මක විය යුතු ය” යන ආස්ථානයක ලියන්නා සිටින බව සඳහන් කළ යුතු ය. මන්ද යත් පවතින ක්‍රමවේදයන් වෙනස් කිරීම ‘සටාස්’ ගා මදුරුවකු තළනවාක් මෙන් කරනවාට වඩා ක්‍රමානුකූලව පිළිවෙලකට කළ යුතු දෙයක් බැව් සුපැහැදිලි කාරණාවක් බැවිනි. කෙසේ වෙතත් මෙලෙසින් එක් පුද්ගලයෙක්ගේ නාඩි වැටීම වෙනුවෙන් සංවේදීව විශාල පිරිසක් අත්වැල් බැඳගැනීම පිළිබඳව ලියන්නාට බලවත් සතුටක් තිබෙන බව ද කිව යුතු ය. වෙනස් වන්නේ ද වෙනස් කරන්නේ ද මේ අයුරිනි.

“අවවාදයට වඩා ආදර්ශය උතුම් ය” යන්න සේම “දඬුවම් දීම ට වඩා ඉගැන්වීම උතුම් ය” යන්න ද අතිශය වැදගත් බව අවසානයට ලියා තැබිය යුතු ම ය.

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

රට වෙනුවෙන් අට පාවිච්චි කරමු!

පළමුවට.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

දෙවනුවට.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

තෙවනුවට ද.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

මෛත්‍රී පාලනයේ අඩුපාඩු ඉන්පසුව විසඳාගත හැකි ය.

පවත්නා දූෂිත තුප්පහි පාලනය හැකි ක්‍රමයකින් වෙනස් කළ යුතු ය. ඉන්පසු පත්වන නව පාලනය දූෂිත එකක් නම් එයටද මේ සන්තෑසියම අත් කළ දිය යුතු ය. මෙය අටවෙනිදායින් අවසන් වන්නට නියමිත සටනක් නොවේ. දූෂිත පාලනය නැති බංගස්ථාන කොට මිසක අපි නොනවතිමු. මහින්ද වේවා මෛත්‍රීපාල වේවා අනෙකෙක් වේවා, දූෂකයාට දූෂකයා හැර “අහිංසක කුක්කු පැටියා උයා ඕනි දෙයක් කළාට කමක් නෑ මගේ මැණික උයා යුද්දේ දින්නනේ චූටි පැටියෝ” කියන්නට, එසේ කියමින් දෙකට නැවී තව දුරටත් කළගුණ සළකන්නට මේ රටේ යටත් වැසියන් නොවන “පුරවැසියන්” වන අපි කිසිසේත් ම සූදානම් නැත.

නිදහස් පක්ෂය කැඩෙන්නට හේතුව ඔය ඉන්න අයට සැළකුවේ නෑ කියන කාරණාව බව අපි දනිමු. ඔය එන කාටත් රට ගැන හැඟීමක් කියනා තරම් විසල් හැඟීමක් නැති බැව් ද අපි දනිමු. එහාටයි මෙහාටයි පැන පැන රජපස්සගේ දූෂණ වංචා වලට උඩ ගෙඩි දීගෙන කටයි අහවල් එකයි වහගෙන අවස්ථාවක් එනකම් සිටියා විනා සද්දයක්වත් නොකළ බව, වචනෙකින් වත් විරුද්ධ නොවූ බැව් අපි දනිමු.

එසේ වුව ද, දැන් රජපස්සගේ ආතල් කුඩු කරන්නට අවස්ථාවක් එළඹ ඇත. මෙච්චර කල් ඇරපුවට හරියන්න කණේ පාරක් දෙන්නට, මෙතෙක් කල් ඔබේ ඉවසීමෙන් අයුතු ප්‍රයෝජන ගත් මේ දූෂිත දේශපාලකයාට අතුල් පහරක් දෙන්නට ඔබට අවස්ථාවක් එළඹ ඇත.

මෛත්‍රීපාලගේ පැනිල්ලට, මෙතෙක් කල් බයට (රජපස්ස උත්තමයෝ බය කරපු නිසා) වැහිලා තිබ්බ කටවල් විවර වන්නට, අඩු කර දමා පාගා දමා තිබූ හඬ අවදි වන්නට පටන් ගත්තේ පුදුමාකාර වේගයකිනි. ඉස්සර ත්‍රීවීල් එකක යද්දී හොරෙන් හොරෙන් කුණු කුණු ගා බැණපු බැණිලි වෙනුවට පොඩි මිනිහගේ පටන් සියළුම දෙනා ප්‍රසිද්ධියේ කතාකරන්නට බණින්නට පටන් ගත්හ. මේ රටේ අමතක කර දැමුණු මිනිස්සු නිදහසේ කතා කරන්නට අදහස් ප්‍රකාශ කරන්නට ගත්තේ මෛත්‍රීගේ පැනිල්ලට ඇහැරවී කිව හොත් එය නිවරදි ය. අට වෙනිදට ක්‍රියාත්මක වනවාට රජපස්සලා බය ඔන්න ඔය සත්‍යයට ය. රටේ නැති බොරු ගොතන්නේ ඒ නිසා බව පැහැදිලි කාරණාවකි. පෙර ද ඔහු විසින් විකුණන්නට යෙදුණේ මිනිස්සුන්ගේ බය වන අතර අදත් විකුණන්නේ එයම ය.

පාරවල් හැදුණා ඇත්ත ය. සංවර්ධනය කියා එක එක එව්වා වුණා එය ද ඇත්ත ය. එහෙත් මේ රටේ අපේ සහෝදර මිනිස්සු බොහෝ දෙනා ඒ සංවර්ධනය නිසාම දුක් විඳිති. අප බොහෝ දෙනා අමාරුවෙන් වුව ද ගැටගහගෙන, රෝල ගහගෙන ‘කාලා ඇඳලා’ ජීවිතය ගත කරන බව ඇත්ත ය. එලෙසම එදාවේල සොයාගෙන ජීවත් වන මිනිසුන්ට කිසිදු සෙතක් අත් නොවූ බව ද ඇත්ත ය. ඔවුන් ඇන්ඳොත් කන්න නැත. කෑවොත් අඳින්න නැත. ඔබ කළගුණ සළකන්නට අදහස් කරනවා නම් සැළකිය යුත්තේ බේබිලට, බේබිලගේ තාත්තලට නොව, ඔවුන්ට ය. මන්ද යත් ඔය ආඩම්බරකාර තාත්තාට ඉතාමත් ආඩම්බරෙන් “මම මේ රටේ යුද්ධේ ඉවර කළා” කියා කියන්නට පුළුවන් වී ඇත්තේ ඒ මිනිසුන් නිසා වීම ය. ඔය දැන් වැලි ගෝනි අදින, ටොයිලට් හෝදන, වතුර ඉල්ලුවම වෙඩි තියන්න බල කෙරෙන “රණවිරුවන්ට” යුද්ධේ ඉවර කරන්න ප්‍රතිපාදන හම්බුණේ ඔවුහු පටි තද කරගෙන යුද්ධේ ඉවර වෙනකම් බඩගින්නේ හරි ඉන්නම් කියා කළ කැපවීම නිසා බව අප අමතක නොකළ යුතු ය.

එහෙත් ඔවුහු තවමත් එලෙස ම පටි තද කරගෙන අමාරුවෙන් පණ කෙන්ද ගැටගසා ගනිති. ඒ අතර එක විසල් පවුලක් පටි රෝල් කර ගනිති. මේ වන විට එම පවුලේ අයවලුන්ට තිබුණ පටි පාවිච්චි කිරීමට තියා පටි තද කර ගැනීමටවත් නොහැකි වී තිබේ. මන්ද යත් හොරා කෑමට සරිළන ලෙස මහත් වී සිටින ඔවුහු පුපුරන්නට ඔන්න මෙන්න කියා සිටින නිසා ය.

මේ දිනවල බොහෝ පිරිසක් වෙනසක් කිරීමට තබා ඒ පිළිබඳ අසන්නට වත් වුවමනාවක් නැති බව ප්‍රකාශ කරනු අපට ඇසුණි. ඔවුන්ගේ අදහස වූයේ මේ පවත්නා දේවල් වෙනස් කිරීමට නොහැකි බවයි. දූෂිතයි කියලා දැන දැනත් තව තවත් දූෂණයට හවුල් වෙන උන්ට කියන්නට තිබෙන්නේ ඔබ සැම කුහකයෝ කියා පමණි. වෙනස් වීම තමන්ගෙන් පටන් ගත යුත්තකි. වැරදි තැනදි කතා කළ යුතු ය. ඊට නිසි පියවර ගත යුතු ය. එසේ සිතන්නට වටේ සිටින අයවත් පුරුදු කළ යුතු ය. වටේ සිටින අයද එම පණිවුඩය අනෙකාට දැන්විය යුතු ය. රටක් වෙනස් කළ හැක්කේ එලෙස ය.

කොහොමටත්, 2022 වෙනකම් එකම මූණ තියාගන්න ආස අයට, උඩු රැවුළට ආස අයට, ළමයි වඩාගන්නවට ආස අයට වෙනසක් වුවමනා නැති ය. වෙනසක් වුවමනා වේල් දෙකක් කන්නට නැති උන්ට ය. තමන්ගේ අම්මව, අක්කව, නංගිව අවලම් දේශපාළුවෝ (ආඩම්බරකාර තාත්තා තාම එහෙම එවුන් රකිනවා) උස්සන් ගියාම කර කියාගන්න දෙයක් නැතිව, කියන්න කවුරුවත් නැතිව අසරණ වෙච්ච උන්ට ය. වතුර ඉල්ලලා වෙඩි කන්න වෙච්ච උන්ට ය. අධ්‍යාපන අයිතීන් ඉල්ලුවම ගුටි කන්න වෙච්ච උන්ට ය. පොඩි එකාට එක නීතියක්, ලොකු එකාට තව නීතියක් බව දැක්කම බෙල්ලේ වැල දාගන්න හිතෙන උන්ට ය. වෙනසක් වුවමනා එහෙම උන්ට ය.

අනිත් අයට කොහොම කුමක් වුව ද එක ය. කන්නට නැති වුණත් උන් උන්ගේ පාඩුවේ ඉඳීවි ය. එහා ගෙදර එකාට නොව තමාට දෙයක් වන තුරු ඔවුන්ට මේ වෙනසක වුවමනාව දැනෙන්නේ නැත. ලංකාවේ ඇත්තෝ එහෙමය. වැඩියෙන් ජනප්‍රිය වෙනසක් හොයන්නට නොව පාඩුවේ ඉන්නට ය.

එසේම, පෙර දැන සිටි සියලු කාරණා අවැසි නැත. ඒ සියල්ලම පසෙක තැබුව ද මහින්ද රාජපක්ෂට ඡන්දය නොදීමට ඔහුගේ ඡන්ද ප්‍රචාරණ කැම්පේන් එකම ඇති ය. මෙතෙක් කාලයකට ලංකාවේ කළ විශාලතම ඡන්ද “අලෙවිකරණය” සිදු කළේ ඔහු විසිනි. ඡන්ද නීති හිතූ මනාපෙට උල්ලංඝනය කරමින් එසේම එම නීති වල සිදුරු සොයමින් නින්දිත අයුරින් යුද්ධය විකුණමින් කළ ඒ කාර්යය දකින ඕනෑම මනුෂ්‍යයෙක්ට ඇති වන්නේ කළ කිරීමකි. ‘කණු පති’ ‘කණු රජා’ යනාදී විරුදාවලි ලබන්නට තරම් පාරේ ලයිට් කණුවක් කණුවක් ගාණේ ගැසූ විරිත්තන බෝඩ් ලෑලි ද, තැන් තැන් වල යුද්ධයේ විවිධ පැතිකඩවල් දැක්වෙන කටවුට් ද, විවිධ තැන් වල නවත්වා යුද්ධය සිහි ගන්වන කෙටි වීඩියෝ පෙන්වන ලොරි රථ ද, කුඩා කඩ හිස් ඉඩම් ආදිය ආවරණය කරමින් අඩියක් අඩියක් පාසා ඉදි කරන ලද කාර්යාල ද, “කළගුණ සළකමු” යි සඳහන්, ජංගම දුරකථන, බිත්ති ඔරලෝසු, අත් ඔරලෝසු, සිල් රෙදි, කුඩා දරුවන්ගේ පාසල් බෑග් බෙදා දෙමින් ද, එක් දිනෙක සියළුම පුවත් පත් වල ඉදිරි පිට සම්පූර්ණයෙන්ම යොදාගනිමින් කළ දැන්වීම් ද, රාජ්‍ය මාධ්‍ය අනිසි ලෙස යොදාගනිමින් කළ ප්‍රචාරණ කටයුතු ද, මුදල් ගෙවා නිර්මාණය කරවන ‘මඩ’ ගණයට වැටෙන්නා වූ වීඩියෝ ද, දුරකථන ඇමතුම් ද, නොනවත්වා එවන කෙටි පණිවුඩ ද, ඉන්දීය නළුවන් ගෙන්වා කළ ප්‍රචාරණ කටයුතු ද, යනාදී වශයෙන් ඉතාම විශාල වූ ප්‍රචාරණ ක්‍රියා දාමයක් ඔහු දියත් කළේ ය.

එහෙත් මේ සියල්ලටම ඔහු වියදම් කළේ තමාගේ සාක්කුවෙන් ද? කිසිසේත් ම නැත. ඒ සියල්ලට ඔහු ආතල් එකේ සල්ලි විසි කරේ ඔබේ ද මගේ ද සාක්කුවෙන් උදුරාගෙන ය. ඒ මුදල් රටේ යහපත් කටයුත්තකට වියදම් කොට ඔහුට ඡන්දය ලබා දෙන්නට කිව්වේ නම් ඊට වඩා නම්බු ය. ඒ මුදලින් තමා ඉදිරියට කරන්නට බලාපොරොත්තු වන යහපත් ක්‍රියා, සංවර්ධන කටයුතු, රට ඉදිරියට ගෙන යන අයුරු ගැන මිනිසුන් දැනුවත් කිරීමට ප්‍රචාරක දැන්වීම් නිර්මාණය කරන්නට තිබුණි. රටේ ස්වභාවික ව්‍යසන වලින් පීඩාවට පත්ව සිටි අසරණ මිනිසුන්ට උදව් කරන්නට තවත් මුදල් යොදන්නට තිබුණි. එසේ කරන්නට ගොස් පැරදුණ ද මේ රටේ මිනිසුන් ඇත්තටම වැඩක් කරන්නට ආ ජනාධිපති තුමා කියා ඔහු ඔසවා තබන්නට, පසසා ගරු කරන්නට ඉඩ තිබුණි. එහෙත් බල ලෝභී රාජපක්ෂට ඒවා මතක් වූයේ නැත. බලයට පෙරේතකමේ තෙවන වතාවටත් බෙදාගන්නට යන රාජපක්ෂට ඒ නුවණ නැත. යුද්ධය අවසන් කළ ජනාධිපතිවරයා ගෙදර යන්නට බයේ මෙසේ නොවටනා තරම් බැගෑපත් වී, වාතයක් වී, ඇණයක් වී බලය රැකගන්නට දඟලනවා දකින අපට නම් ඇති වන්නේ අතිශය කණගාටුවකි.

රාජපක්ෂව වීරයෙක් කළේ මේ රටේ මිනිස්සු ය. එහෙත් රාජපක්ෂ සිතාගෙන ඉන්නේ තමා වීරයෙක් නිසා මේ රටේ මිනිස්සු තමන් ඔසවා තැබූ බවයි. ඔහු වීරයාට ඇන්ඳේ ය. ඉන්පසු ඇදගෙන නෑවේ ය. ඉතින් වීරකමේ නාමයෙන් රටේ මිනිසුන්ට හෙවත් ඔබට මට, හයිරම් පාන්නේ ඒක ය.

එහෙත් මේ රටේ මිනිස්සු දැනගත යුත්තේ රාජපක්ෂ වීරයෙක් වන්නේ ඔබ ඔහු වටා පෙළ ගැසී සිටින තාක් කල් බව ය. ඔබ ඔතැනින් ඉවත් ව තම තමා වටේ සිටගන්න. තම සහෝදර පුරවැසියන්, මිනිසුන් සමග පෙළගැසෙන්න. රාජපක්ෂ යනු නිකම්ම නිකම් පිම්බූ බැලුම් බෝලයක් වී යනු ඇත. පිම්බූ බැලුම් බෝලයකට කටුවකින් ඇන්නහොත් සිදු වන්නේ කුමක් දැයි ඔබ දැක ඇති බව නිසැක ය.

ඔව් පුරවැසි බලය එතරම් විශාල ය. එක කූඹියෙක් කනවාට වඩා මිලියන විස්සක් කූඹි කෑවොත් කොහොමට තියේවි ද? නවතින්න.. සිතන්න.. අට වැනිදාට මොළේ පාවිච්චි කරන්න!

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

එන්න, අට වෙනිදාට

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මීගමුවේ ඇන්ටනීලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, රතුපස්වල අකිල දිනේෂ්ලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, කටුනායක රොශේන් චානුකලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, අරන්තලාවේ පොඩි හාමුදුරුවරුන්ට..
කළගුණ සළකන්න.. රජාගෙයි, කේපීලා, කරුණා අම්මාන්ලාගෙයි ආතල් කුඩු වෙන්න..

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු විසින් සමූහ දූෂණයට ලක් කෙරුණු නීතියට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ලක්ෂ පහක ණයත් එක්ක ඉපදෙන ඔබේ දරුවන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සුනාමියට ලැබුණු ආධාර අහිමි වූ ඔබේම නෑදෑයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔබ වෙනුවෙන් මියැදුණු ලසන්තලාට, එක්නැළිගොඩලාට..
කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න හොර හැත්තගෙයි කකුල් වෙව්ලන්න..

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, චීනෙට විකිණුනු සිරි ලාංකිකයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, නානසාර නිසා නොමග ගිය මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මාලකලා, මර්වින්ලා අතින් හිරිහැරයට ලක් වූ ඔබේ මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සාරුවා සුනිල් අතින් දූෂණයට ලක්වූ ඔබේ අක්කලා නංගිලාට..
කළගුණ සළකන්න.. රජාගෙයි, අමතක වෙච්ච උන්ගෙයි මතකේ අළුත් වෙන්න.

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් මියැදුණු සාමාන්‍ය මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් සාධාරණය ඉටු නොවුණු අසරණයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් අසාධාරණයට ලක් වූ අහිංසකයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, වැලි කොට්ට කර මතින් ගෙන දැක්කවූ “රණවිරුවන්ට”
කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න උන්ගෙයි ඉහ මොළ රත් වෙන්න..

ඔව් අනිවාර්යයෙන්ම “සුභ අනාගතයක්!”

© 2014 Pamuditha Zen Anjana

තේරුමක් නැති(?) කතා තුනක්

කතා අංක #01

“මේ.. නයෙක් ඉන්නවලු හරි ද.. පෙණ හතක් තියෙනවලු.. හැතක්මක් විතර දිගයිලු.. මේ නයා පෙණ හතෙන්ම ගින්දර පිට කරනවලු.. දෂ්ට කරනවා නෙමෙයි බෙලි ගලවනවලු..

දැන් ඔය නයා මරන්න අපේ සෙට් එකක් එනවලු යුධ ටැංකි මල්ටි රොකට් ලෝන්චර් අරගෙන ඇපෑචි මිග් කෆීර් වගේ අහස් යාත්තරා වලින් වැඩ කෑලි දාගෙන එහෙම.. දැන් ඔය එද්දී ඒ එන පාර දෙපැත්තේ ගම් නගර වල හිටපු මිනිස්සු මරාගෙන වගා පාළු කරගෙන කුඩු පට්ටම් කරගෙන ලු එන්නේ.. දැන් මේක ගැන වෙන කරන්න දේකුත් නෑලු.. මොකද නයා මරන්නත් එපැයි.. කොලැටරල් ඩැමේජ් කියලා හිත හදාගෙන එනවලු.. දැන් ඔහොම ජීවිත ගණනාවක් විනාස කරගෙන නයා ඉන්නවයි කියන තැනට අපේ සෙට් එක ළං වුණාලු..

පෙණ හතේ හැතැක්මක් දිග ගිනි පිඹින නයෙක් පේන තෙක් මානෙක නෑලු.. දැන් ඉතින් කට්ටියම හොයනවලු මේ පතරංග නයා කොහේද කියලා.. ඒත් නෑලු..

ඔන්න ටිකකින් මේ සෙට් එකේ නායකයා කෑ ගහනවලු අන්න නයා.. මෙන්න පෙණේ අරකද මේක ද කියලා.. බලද්දී ඉන්නවලු අඩි හතරක් පහක් දිග නයෙක්.. ඉතින් අනේ අර ගිය පතරංග සෙට් එකෙන් එක ගැටයෙක් ඇවිල්ලා භූමිතෙල් ටිකක් ගහලා නයාව කැළේ පැත්තට එළෙව්වලු..

පට්ටම සීන් එක කියන්නේ අර දෙපැත්තේ තිබ්බ ගම් නගර ගැනවත් ඒවයේ හිටපු මිනිස්සු ගැන වත් කවුරුත් කතා කරේ නෑලු..”

කතා අංක #02

“මා දන්නා සමහර හාමුදුරුවරුන් බේබද්දන් ය.. මා දන්නා සමහර හාමුදුරුවරුන් ස්ත්‍රී සොඬුන් ය.. මා දන්නා සමහර හාමුදුරුවරුන් බාලාපරාධකරුවෝ ය.. මා දන්නා සමහරුන්ද එවන් හාමුදුරුවරුන් දන්නා බව මම අසා තිබේ.. එසේම තවත් සමහරුන් එවන් හාමුදුරුවරුන් සිටිනා බැව් සාක්ෂි සහිතව සනාථ කර තිබේ.. එමෙන්ම එවන් හාමුදුරුවරුන් ගැන මම පුවත්පත්වලද රූපවාහිනී පුවත් වලද දැක තිබේ..

ඒ අනුව මගේ නිගමන..

සියළුම හාමුදුරුවරුන් බේබද්දන් ය
සියළුම හාමුදුරුවරුන් ස්ත්‍රී සොඬුන් ය
සියළුම හාමුදුරුවරුන් බාලාපරාධකරුවන් ය

එමෙන්ම මේ හාමුදුරුවරු සියල්ලෝම බුද්ධ චීවරය ඇඟලා සිටින නිසා බුදු දහමට අනුව හැසිරෙන්නෝ වෙති..

එබැවින් මගේ අනෙක් නිගමනය…

මේ හාමුදුරුවරුන්ට මෙලෙස හැසිරෙන්නට බල කරන බුදු දහමේ විශාල වරදක් තිබේ.. මෙය ම්ලේච්ඡ ආගමකි..!!!”

කතා අංක #03

“සභාවක් ඉදිරියේ යම් අයෙක් කතාවක් පවත්වමින් සිටියි. උද්වේගකර කතාවක් බව පෙනෙන අතර විටින් විට සභාවෙන් “සූ” හඬ ද ඔල්වරසන් ද නැගේ.

“…මට මේ වෙලාවෙදි මිත්‍රවරුනි මතක් වෙනවා පොඩි සිදුවීමක්! අපේ ඉස්සරහ ගෙදර මනුස්සයා මට ඩිනර් එකකට ආරාධනා කළා මේ ඊයේ පෙරේදා.. පට්ට සීන් එක කියන්නේ මට එතකොටම මිත්‍රවරුනි මතක් වුණා, මොකද්ද.. මේ මිනිහා අදහන ආගම..! යකෝ ඒ ආගම ම්ලේච්ඡ ආගමක් නේ.. අනික උන්ගේ ආගමේ උන් වෙන වෙන රටවල මිනීමරනවා.. ඉතින් කොහොමද මිත්‍රවරුනි අපි සහජීවනේ කොරන්නේ.. මම ඩිනර් එකට යන්න බෑ කිව්වා.. දැනගන්න මිත්‍රවරුනි මගේ බල්ලවත් මිනීමරුවොන්ගේ ගෙවල් වල යන්නේ නෑ..!

මම එතනින් නැවතුණේ නෑ.. ආරාධනාව කරන්න ගෙදර ආපු එකාට කතා කළා කොම්පියුටරේ ගාවට.. මිත්‍රවරුනි, මූට මේක පෙන්නුවම කට උත්තර නැති වෙන බව මම නොදන්නවැයි.. පෙන්නුවා ආගමේ මිනීමරන්න දීලා තියෙන උපදෙස් ටික.. ඇඩ්‍රස් නෑ ඌට.. නැට්ට පුකේ ගහගෙන ගියේ..

එනවා මෙතන සහජීවනේ කොරන්න..”

සභාවෙන් ඔල්වරසන් හඬ නැගෙයි..

“ජයවේවා!”

“අපේ සටනට ජයවේවා!”

“අපේ ආගම ජාතිය රැකගමු!”

එහෙත් සභාවේ අයෙක් නැගෙන ඔල්වරසන් අතුරින් කතාවට බාධා කරයි.

“මේ මේ.. මහත්මයා.. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මේ.. එතකොට ඉස්සරහ ගෙදර උන් මිනීමරුවො ද? එහෙමත් නැත්නම්… මොකද දැන් ඔබතුමා කිව්වනේ මිනීමරුවොන්ගේ ගෙවල් වලට ඔබ තුමාගේ බල්ලොවත් යන්නේ නෑ කියලා..? මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරනව ද?”

“ඒ.. ඒ.. ඒක තමයි.. ඒ සම්බන්ධව ඔබ අහන්න ඕනේ…”

**දැන් කට්ටියට තියෙන මොළවල තරමට තම තම නැණ පමණට තේරෙනවා මේ කතා.. එහෙමත් නොතේරෙනවනම් ඉතින් කරන්න දෙයක් නෑ නේ.. නේ ද?

© 2014 Pamuditha Zen Anjana

ගොන් කතාවක්

මෙහේ එකාලාට මෑතක පටන් වී ඇත්තේ අන්දරේට වූ හදිය ම ය. මඟුල් ගෙදර යන්නට පෙර ආඩම්බරකාර අප්පුච්චා ගොනා වාගේ ඉන්නට කියූ දා සිට මුං ගොනා වාගේ ම ඉන්නවා ය. අපරාදේ කියන්නට බැරි ය. ඉන්නවා විතරක් නොව අත් දෙකේම ඇඟිලි වලින් ඔළුවේ අං සාදාගෙන එකිනෙකාට ඇණ ගන්නට පවා යනවා ය. ඒ දැක මඟුල් ගෙදර කා බී නටමින් ගයමින් ප්‍රීති වෙන වැඩිහිටියන්ට හතර හිනා ය. කතාව ඒ මඟුලක් ගැන නොව ලංකාවේ ගොන්නු ගැන ය.

මෙහේ ගොන්නු ප්‍රතිශතයක් ලෙස ගත්තාම සෑහෙන වැඩි ලු ය. ගොන් ප්‍රභේද වලින් නා නා විධ, විවිධාප්‍රකාර ගොන්නු මෙහේ ඉන්නවා ලු ය. බත් කන හරක් කියා ලංකාවටම ආවේණික ප්‍රභේදයක් ගැන ද ලියන්නා කොහේදි හෝ අසා තිබෙනවා ය. ගොඩක් ගොන්නුන්ට පමණක් නොව ගොපල්ලන්ට ද විවිධ භාෂා වලින් උම්බෑ කීමේ හැකියාව තිබෙනවා ලු ය. ඔය කාට කාටත් ඒ බව සැකයි නම් රෑ නවයහමාරෙන් පමණ පසු රූපවාහිනියේ ගුවන් විදුලියේ පවා විවිධ භාෂා වලින් උම්බෑ කියන ගොන්නු සහ ගොපල්ලන් දැකීමට ඇසීමට හැකිය. ලියන්නා පත්තර කියවනවා සෑහෙන අඩු ය. එහෙත් කලාතුරකින් පත්තරයක් අතට ගත්තාම පොල්ගෙඩි අකුරින් පිටු පුරා උම්බෑ කියන ගොන්නු ලියන්නා දැක තිබෙනවා ය.

ලංකාවේ ගොන්නුන්ට නොතේරෙන එව්වා ද ගොඩක් තිබෙන්නේ ය. මතක් වෙන හැටියකට ඒවා මෙහි ලියන්නට ලියන්නා උත්සාහ කරනවා ය.

ගොන්නු හිතං ඉන්නේ හැමදාම උලා කන තණ බිම් උන්ගේ කියා ය. එහෙයින් හැමදාම තණබිම් වල අයිතිය රැක ගන්නට, ඒ අටමඟලෙම හිතාගෙන ඉන්නා වෙන වෙන ගොන්නු සමඟ ඇණ කොටා ගන්නවා ය. මේ එක ගොනෙක්ට වත් නොතේරෙන්නේ තණ බිම් මොන හරකෙක්ට වත් අයිති නැති බව ය. ඔළුවෙන් හිටගෙන කීවද, බීරි අලින්ට වීණා ගැහුවාට ඇහෙන්නේ නැතිවාක් මෙන් තණකොළ කා උම්බෑ කියන්නට පුරුදු ගොන්නුන්ට ඒවා කියා වැඩක් නැති ය. ඒ අව් අස්සේ ගොන්නු බලන ගොපල්ලන් ද තණ බිම් උන්ගේ බාප්පොච්චාගේ වාගේ හැසිරෙනවා ය. ගොනෙක් වැරදිලා වත් සීමාවෙන් පිට ගියොත් උන්ගේ රැස්පොට් බැලිය හැකිය. උන්දැලා එහෙම හිතාගෙන හිටියාට එව්වා උන්ටත් අයිති නැති ය. ඔය කොච්චර රැස්පොට් තිබ්බ ද ගොන්නු කෙතරම් කුළල් කාගත්තද ගොපල්ලන්ට වගක් වත් නැතිවාක් සේ ය. ආතල් එකේ තමන්ගේ වැඩක් බලාගෙන වස් දඬුවක් පිඹගෙන, කෑල්ලකට ලයින් දාගෙන උන් ඉන්නවා ය. ඉතින් ඇණ කොටාගන්න එකෙන් කෙළ වෙන්නේද ගොන්නුන්ට ය. එය නොතේරී තව තවත් මරාගන්නේ ද ගොන්නු ම ය.

ඔය කුමක් වුවත් ගොපල්ලෝ ගොපලු තනතුරට පත් වන්නේ කොහොමද යන කාරණාව ගොන්නුන්ට ඒ හැටි නිනව්වක් නැති පාට ය. එහෙම මෙව්වා එකක් තිබ්බ ද ඒ හැටි ගාණක් නැති පාට ය. ඔහේ වමාරා කමින් ඔළුව වනමින් ඉන්නවා ය. ලියන්නාට හිතෙන්නේ, ඒ ගොන්නු, තමන් ගොන්නු බව නොදන්නා නිසා කියා ය. මොකද මේ නිකම් ගොන්නු නොව ගොන් බබාලා නිසා ය. දෙන දෙයක් කා, වෙන දෙයක් බලාගෙන ඉන්නට මේ ගොන් බබාලා පට්ටටම කැමති ය. ඉඳහිට කරත්තයේ, බරබාගයේ බැන්ඳාම පොඩ්ඩක් කුණු කුණු ගෑව ද, බර අදින්නට පටන් ගත් විට ලෝස් නැතිව අයිතිකාරයාගේ අම්මාගේ අප්පුච්චාගේ පටන් පවුලේ බේබිලාගේ පවා බර අදිනවා ය. ඒ ගැන උම්බෑ ගාන්නට යන ගොනෙක් නැති ය.

මන්ද යත් ඒ උම්බෑ සද්දේ ජූංජක් හෝ වැඩි වුවහොත් පස්සට ගොපල්ලාගේ කෙවිටි පාර සුවර් බව හැම ගොනෙක් ම දන්නා නිසා ය. තත්වය එසේ වුව ද ඉඳහිට කණාවට වාගේ නාහෙට නාහන ගොන්නු ද සිටින බව කලාතුරකින් අහන්නට ලැබෙනවා ය. ඒ ද උන් සුද්දාගේ වෑන් වල යන චාරිකාවෙන් අනතුරු ව මස් කඩේට දැක්කුවාට ද පසුව ය.

“දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි ය” කියා කතාවක් ලියන්නා පොඩි කාලේ පටන් අසා තිබේ ය. මොකද එකී කතාවට මුල්වූ ගොන්නු දෙන්නාගෙන් එකෙක්ට මැස්සන් එළවීමට වලිගයක් තිබුණේ නැති නිසා ය. මැස්සන් කනවා දැනුණ ද එළවන්නට වලිගයක් නැති ය. මෙහේ ගොන්නුන්ට වෙලා තියෙන්නේ ද ඔය හා සමාන සංගදියක් ය. අයිතිකාර ඇත්තෝ ඔක්කෝගේම වලිගය කපාලා ය. ලියන්නාට හිතෙන්නේ දැන් දැන් ඉපදෙන වහු පැටවුන්ගේ පවා වලිගය ඉපදෙද්දීම කපනවා කියා ය. මොනා වුණත් හදිසියකට මැස්සෙක් මදුරුවෙක් එළවාගන්නට වලිගය නැති එක ගැන නම් පට්ට දුක ය.

ගොන්නු ගැන කියන්නට ගොන් කතා තවත් තිබෙනවා ය. ඒත් එහෙම කතා ඔක්කොම එකට ලියලා ද වැඩක් නැති ය. පස්සේ දවසක තවත් ගොන් කතා පුළුවන් වුණොත් ලියන්නම් ය.

අන්තිමට කියන්නට තවත් එකක් මතක් වුණේ ය. ඒ ගොන්නු කොපමණ සිටියද එළදෙනුන්ගේ හිඟයක් දැනෙනවා වාගේ ය. මොකද මෙච්චර හරක් ඉන්නා රටේ කිරිපිටි ගිනි ගණන් ඇයි ද කියා සකබග් උන්දෑගේ අඩවියේ පෝස්ට් එකක් හුවමාරු වෙනවා දුටු නිසා ය. එක අතකින් බැලුවාම ඒ හැටි පුදුමයක් ද නැති ය. මොකද මේක මහ අමුතු ඇටයක් නිසා ය. පඳුරකට පයින් ගැහුවාමද ඇස් දෙකටම ඇඬෙන්නට ආශ්චර්යය එළියට පනින නිසා ය.

මේ උම්බෑ කිව්වා හොඳටෝම ඇතිය. හදිසියේ වත් සද්දේ වැඩි වෙලා කංකරච්චලයක් වගේ වලව්වට ඇසුණොත් ලියන්නාගේද වලිගය කපා සුද්දාගේ වෑන් වල එක්ක ගොස් එලොව පොල් පෙන්නාවි යැයි ලියන්නාගේ මෑණියන්දෑ කීවා ය. එහෙම වුවමනාවක් ලියන්නාට තාම නම් නැති ය. මේ ගොන් අඩවියට ඇවිදිං ගොන් කතා කියවා යන ගමන් ඔය මොනා හරි කොටාගෙන යන එකෙන් ලියන්නාට තවත් ගොන් කතා ලියන්නට හිතේවි ය. ඒ නිසා ඕන ගොනෙක් කැමති ගොන් කතාවක් ඕන විදිහකට දාගෙන ගියාට ලියන්නාට අවුලක් නැති ය.

© 2014 Pamuditha Zen Anjana