විජයග්‍රහණය!

“කවුරුත් යුද්දේ දින්නේ නෑ.. මිනිස් ජීවිත දහස් ගණනක් නැති වෙන නැති කරන දෙයක් කවුරු කොහොමද දිනන්නේ?

යුද්දේ නිසා අනිත් මිනිස්සුන්ව මරපු මිනිස්සු, යුද්දේ නිසා අනිත් මිනිස්සු අතින් මැරුණු මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

යුද්දේ නිසා ජීවත් වෙන මිනිස්සු, යුද්දේ නැති නිසා ජීවත් වෙන මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

යුද්දේ පට්ට ඈතින් දැකපු මිනිස්සු, යුද්දේ හුස්මක් ළඟින් දැනුණු මිනිස්සු ජයග්‍රාහකයෝ ද?

නැත්නම් යුද්දයක් පටන් ගන්න කලින් ඉවර කරන යුද්දයක් ඇති නොවෙන්න වග බලාගන්න මිනිස්සු ද ජයග්‍රාහකයෝ?”

ඒ ලියන්නා ෆේස්බුක් එකේ දාපු ස්ටේටස් එකක්. ඕකට එක එක විදිහේ ප්‍රතිචාර ඇවිල්ලා තිබ්බා. ඒකෙන් වැඩියෙන්ම සිත් ඇදගන්නා සුළු කොමෙන්ට් එක වැටුණේ මෙහෙම.

“උබෙ තාත්ත දෙමළ ද..?”

අපේ රටේ අපේ සහෝදර මිනිස්සු ගැන කතා කරන්න තාත්තා දෙමළ වෙන්නම ඕනෙ ද? එහෙමත් නැත්නම් තාත්තා මුස්ලිම් වෙන්නම ඕනෙ ද? සිංහලයෙක්ට දාව ඉපදුණ එකෙක්ට දෙමළ එවුන් ගැන කතා කරන්න තහනම් ද? ඔක්කෝටම වඩා මනුස්සයෙක්ට දාව ඉපදිච්ච මනුස්සයෙක්ට වෙන මනුස්සයෙක් ගැන කතා කරන්න තහනම් ද?

ලියන්නාට හිතෙන්නෙම, ඒක තමා හරිම ප්‍රශ්නේ කියලා.. මේ වගේ අවුරුදු ගාණක් ඔඩු දුවපු තුවාලයක් ඇති වෙන්න හේතුවම තමා මේ හිතන විදිහ.. “උඹේ තාත්තා දෙමළ ද?” කියලා අහන එක ඇතුළෙම ඔය හැමෝම දහ අතේ හොයන දෙමළාගේ ප්‍රශ්නය තියෙනවා.. දමිළයොන්ට වෙනම පාලනයක් ඕනේ ඇයි.. ඒ කතාව ඇත්තද නැද්ද.. ඇත්ත හෝ නැත්ත වෙන්නේ කොහොමද කියන එක කරුණු කාරණා සහිතව සනාථ කරගෙන විසඳුමක් හොයාගන්න එක තමා කරන්න ඕනේ..

දැන් හදිසියේ වත් උන් ඒ කියන වෙනම පාලන කතාව ඇත්ත නම් තනි තනි පුද්ගලයන් විදිහට අපි කැමති ද ඒක දෙන්න, හෝ ඒ කතාව වැරදි නම් තනි තනි පුද්ගලයන් විදිහට උන් කැමති ද ඒක ඉල්ලා අස් කරගන්න කියන එක මත තමා යුද්දයක් ඇති වීම හෝ නැති වීම කියන කාරණාව බලපවත්වන්නේ..

එහෙම බැලුවොත් මේ යුද්දය පටන් ගත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳ කරුණු කාරණා “හරි හැටි” නොදත් අපි වගේ උන්ට මේක ඇතුළේ වාද කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..

ආයේ එන්නේ කිකිළිද බිත්තරේද මුලින් ආවේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි ද?

අපි කරන්න ඕනේ අතීතය සිහිපත් කරනවට වඩා එකිනෙකාගේ ප්‍රශ්න ගැන සංවේදී වෙන එක.. මේ රටේ “මහ ජාතිය” විදිහට හැඳින්වෙන සිංහලයට මේ පිළිබඳව තියෙන වගකීම වැඩියි.. සහෝදරත්වයේ දෑත් දික් වෙන්න පටන් ගන්න ඕනේ දකුණෙන්.. අමතක කරන්න අමාරු අතීතය අතෑරලා අනාගතයට පියවර තියන්න පටන් ගන්න ඕනේ අපෙන්.. බෝම්බ ගහලා අහිංසක මිනිස්සු මරන්න තීරණය කරපු බල ලෝභියෝ ගැන මතකය හාර අවුස්සමින් ඔඩු දුවපු තුවාලෙට බෙහෙත් කරනවා වෙනුවට ඒකට කෝටු කෑලි වලින් අනින එක නවත්තන්න ඕනා අපි.. නැවත ඔවුන්ගේ විශ්වාසය දිනාගත යුත්තේ අපි..

ඒත් අපි නොකරන්නෙම ඒක.. ඔවුන්ගේ මානුෂිකත්වය පිළිබඳව ඔවුන් පිළිබඳව සංවේදී වෙනවා වෙනුවට අපි කරන්නේ අපේ හයිකාරකම් පෙන්නන එක නෙමෙයි ද? අපේ ලොකු කම පෙන්වන එක නෙමෙයි ද? උදාහරණයක් විදිහට පහුගිය දවස් වල දෙමළෙන් ජාතික ගීය කියන්න අවසර දුන්නම ගොඩක් උන් නොසෑහෙන්න විරුද්ධ වුණා.. මෑතකදී විශ්ව විද්‍යාලයක මේක නිසා ගහ මරාගැනීමකුත් වුණා..කොටි ආයේ නැගිටිනවා කිව්වා.. ඔන්න කරලා තියෙන්නේ කිව්වා.. වෙන රටවල එහෙම වෙන්නේ නෑ කියලා පෙන්නන්න දාහක් උදාහරණ දෙන්න හැදුවා.. ඔය විරුද්ධ වුණ කී දෙනෙක් කැමති ද තියෙන ජාතික ගීයට දමිළ බසින් පේළියක් වත් එකතු කරන්න? වෙන රටවල වෙන විදිහටම ද අපේ රටෙත් වෙන්න ඕනේ? මේක වෙන වෙන රටවල උන්ගේ රටක් නෙමෙයි.. අපේ රට.. එහෙම නම් අපිට ඇයි බැරි වෙනස් කරලා පෙන්නන්න?

ආයෙමත් හිතලා බැලුවම නෑ නෑ උඹලා තාම දෙවැනි පංතියේ පුරවැසියෝ කියලා නොකියා කියන්නෙම අපි නෙමෙයි ද?

මේ එකිනෙකා පිළිබඳව සංවේදී වීම ගැන ලස්සනම කතාව කිව්වේ ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ.. පහුගිය වෙසක් දවසේ නිකුත් කළ වීඩියෝවකින් උන්වහන්සේ ඉතිහාසය සිහිපත් කරමින් වෛරය පවත්වාගැනීම නොකළ යුත්තේ ඇයි කියන එක පිළිබඳව ලස්සන පණිවිඩයක් ලබා දුන්නා.. කැමති කට්ටියට බලන්න ඒකත් පහතින් අමුණන්නම්..

ඊළඟට මේ පහතින් අමුණන්නේ පෙරකී ස්ටේටස් එකට වැටුණු තවත් කොමෙන්ට් එකක්.

“යුද්දෙ නිසා දින්නෙ ත්‍රස්තවාදයෙන් බැටකෑ මිනිස්සු. යුද්දෙන් දින්නෙ බයෙන් සහ සැකයෙන් ජීවත් වුනු මිනිස්සු. යුද්දයක් තිබ්බෙ යුද්දයක් වලක්වන්න. ඒ යුද්දෙන් දිනපු නිසා ඊට වඩා බයානක අදුරු යුද්දයකට යන්න තිබුන මං මාවත් නැති උනා . යුද්දයක් පටං ගන්නෙ නැතිව ඉන්න එකයි හොදයි නමුත් යුද්දයක් අවසන් කරන්න යුද්ද කරන්න වෙනවා . යුද ජයග්රහනය හෑල්ලු කරන්න එපා. යුද්දය නරක උනාට අද මේ නිදහස් හුස්ම විදිනෙ දෙමලත් සිංහලයත් එකම විදියට අන්න එහෙව් යුද ජයග්‍රහණය නිසා”

ඇත්තටම, යුද්දේ වළක්වන්න යුද්ද කරනවා කියන එකම විහිළුවක් කියලා අපිට නොහිතෙන්නේ ඇයි..? ඒකත් හරියට කන්‍යා භාවය රැක ගන්න සංසර්ගයේ යෙදෙනවා වගේ නෙමෙයි ද? ලියන්නාට හිතෙන විදිහට මිනිස්සු බරගාණක් මැරුණ තැනක ජයග්‍රහණයක් තියෙන්න බෑ.. නැති ජයග්‍රහණයක් හෑල්ලු කරන්නේ කොහොමද?

යුද්දයක් ඉවර කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා.. එකක් දෙපැත්තම එකඟ වෙලා යුද්ද කරන එක නවත්තන එක.. ඊළඟ එක, එක පැත්තක් සමූල ඝාතනය කරන එක.. අනෙක තමා අපි කළේ.. දහස් ගාණක් මිනිස්සු තම තමන්ගේ ජීවිතය අත ඇරලා මැරීගෙන, තුන්කාලක් මැරුවා.. කාලක් ඉතුරුවෙලා යටත් වුණා..

යුද්දේ පටන් ගත්තේ ඇයි කියලා උඹලට අපිට තාමත් හරි හැටි තේරෙන්නේ නෑ.. මොකද අපි ළඟ තියෙන්නේ “ජයග්‍රාහකයාගේ” ඉතිහාසය.. මම කියන්නේ බෝම්බ පුපුරපු මෑත ඉතිහාසය නෙමෙයි.. ඊට එපිට ඈත ඉතිහාසය කියන කෑල්ල.. යුද්දයක් ඇති වෙන්න හේතු වුණ ප්‍රශ්නේ ගැන තාම මේ රටේ මිනිස්සු හරි හැටි උනන්දුවක් නෑ.. දකුණේ එවුන් දන්න දේම නෙමෙයි උතුරේ එවුන් දන්නේ.. දකුණේ එවුන්ට උගන්නපු දේවල්ම නෙමෙයි උතුරේ එවුන්ට උගන්නන්නේ.. ඇයි මේවා දෙකක්.. දකුණේ එක විතරක් හරි කියලා තර්ක කරලා වැඩක් නෑ.. උතුරේ එක විතරක් හරි කියලා තර්ක කරලා වැඩක් නෑ.. දෙපැත්තෙම උන් කිසිම දෙයක් භාර ගන්න විවෘත නෑ.. මෙව්වා වෙනස් වෙන්න ඕනේ..

දෙමළ සිංහල දෙකේම ගොඩක් උන් හෙණ මාන්නක්කාරයි.. සමහරවිට ලංකාවේ උන්ගේ හැටියක් වෙන්න ඇති ඒක.. අනිත් එකාට කෙළ කරලා තමන් උඩ යන්න තමයි ගොන් හැතිකරේ තාම මාන බලන්නේ..

දෙමළ උන් මැරිච්ච දෙමළ උන් සමරද්දී සිංහල ගොන් හැතිකරේ කෑ ගහනවා “අන්න කොටි සමරනවා!” “ආයේ කොටි නැගිටිනවා!” අරකද මේකද කියලා(හැමෝම නෙමෙයි, ඒත් මට හිතෙන විදිහට ප්‍රතිශතයක් විදිහට වැඩියි).. සිංහල උන් හමුදාවේ මැරිච්ච උන් සමරද්දී දෙමළ ගොන් හැතිකරේ කෑ ගහනවා “අන්න මිනීමරු හමුදාව සමරනවා!” “අපේ උන්ව මරපුවා සමරනවා!” කියලා(හැමෝම නෙමෙයි, ඒත් මට හිතෙන විදිහට ප්‍රතිශතයක් විදිහට වැඩියි).. දෙපැත්තෙම උන්ට අමතකයි මේ මැරුණේ උන්ගේ රටේ මිනිස්සු කියලා..

එල්ටීටීඊ එකට බැඳුණ උන් මිනිස්සු නෙමෙයි ද? උන් මනුස්ස අම්මලට දාව ඉපදුණු ළමයි නෙමෙයි ද? උන්ගේ අම්මලට, තාත්තලට, නෑදෑයොන්ට, යාළුවොන්ට උන් මැරුණු එක සිහිපත් කරන්න බැරිද? ඒක සමරන්න බැරි ද? ත්‍රස්තවාදීන් විදිහට මැරිච්ච උන් ගැන සංවේදී වෙන්න අමාරු ඇති.. ඒත් අඩුම තරමේ උන්ගේ අම්මලා තාත්තලා, නෑදෑයෝ, යාළුවෝ ගැන සංවේදී වෙයල්ලා.. ඒ මොකක් හරි මඟුලක් නිසා මැරුණේ උන්ගේ ළමයි, නෑදෑයෝ, යාළුවෝ.. ඇයි උන්ට උන්ගේ එවුන් සමරන්න තියෙන අයිතියට තහංචි දාන්නේ?

උන් නොමග ගිය එක ගැන නොමග ගිය විදිහ ගැන, (නොමග යෑම කියලා මම අදහස් කරන්නේ ආයුධ අතට ගත්තු එක, මිනී මරපු එක) නොමග යවපු එවුන් ගැන නෙමෙයි අපි කතා කරන්නේ, අපි කතා කරන්නේ කවුද වැඩියෙන් මිනිස්සු මැරුවේ කියන එක ගැන.. එහෙම නෙමෙයි ද? මිනිස්සු වැඩියෙන් මරපු උන් හරි මිනිස්සු අඩුවෙන් මරපු උන් හරි ජයග්‍රාහකයෝ වෙන්නේ කොහොමද? දෙගොල්ලොම අන්තිමට කරගෙන තියෙන්නේ මේ රටේ තරුණ ජීවිත දහස් ගණනක් නැති කරගත්තු එක, තරුණ ජීවිත දහස් ගණනක් මරාගත්තු එක නෙමෙයි ද?

ඇයි මුන් දෙගොල්ලොන්ටම බැරි යුද්දේ නිසා මැරිච්ච දෙපැත්තෙම උන්ව සිහි කරලා දුක් වෙන්න? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයපල්ලා.. උඹලටත් මටත් විතරක් බෑ.. ඒත් අපි හොයමු.. තව උන් එකතු වෙයි.. ඒ ප්‍රශ්නෙට උත්තරේ හැමෝම දන්න, පිළිගන්න දවසට සමහරවිට ඔය කියන යුද (වි)ජයග්‍රහණය ඇත්තටම අපි ළඟ තියෙයි..

යුද්දේ දින්නා නෙමෙයි යුද්දේ ඉවර කළා.. ඇත්තටම යුද්දේ දින්නා වෙන්නේ අපි අපේ සහෝදර මිනිස්සු දිනාගත්ත දවසට..

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

පසු ලිවීම:

එකඟ කට්ටිය, කුතුහලයක් තියෙන කට්ටිය, සහෝදරත්වය හිතේ තියෙන කට්ටිය මැයි දහ නවය හවස හතරට නෙළුම් පොකුණ ගාවට ඉටි පන්දමක් අරන් එන්න.. අපි යුද්ධයෙන් දුක්විඳි, මියගිය සියලු මිනිසුන් වෙනුවෙන්, සහෝදරත්වයේ දිනය ඒකාලෝක කරමු!

යුද්ධයට උපන්නෝ

අපි යුද්දෙට ඉපදුණ දරුවෝ. මේ පුංචි දූපත ඇතුළේ දන්න දවසේ ඉඳන් පැවතුණ, (ඊට ඉස්සරත් පැවතුණා ලු!) ඉදිරියටත් පවතින්නට නියමිත ජාතිවාදෙට ඔහේ මුදාහැරුණු ජීවියෝ කොටසක් තමයි අපි.

මම ඉපදෙන්නේ අසූඅටේ. කළු ජූලියට අවුරුදු පහකට පස්සේ. මමඉපදුණ දා ඉඳන් දෙදාස් නවය වෙනකම්ම ඇහුවේ යුද්දේ ගැන කතා. “පර දෙමළු” උන්ට රටෙන් කෑල්ලක් ඉල්ලපු හැටි, දුටුගැමුණු රජ්ජුරුවෝ දෙමළු පලවා හැරලා රට එක්සේසත් කරපු හැටි, ඇයි මේ රට අපේ (සිංහලයන්ගේ) වෙන්නේ, ඇයි කොටි මරාගෙන මැරෙන්නේ, යනාදී කතා බොහොමයක් ඒ කාල සීමාව තුළ අපි ඇහුවා. තේරෙන කාලෙට එද්දී අපි යාළුවෝ එක්ක වාද කළා. සමහර විට ඔය කතා බහට එක් වුණු දෙමළ යාළුවෝ උන් කොටි ගැන හිතන විදිහ අපිට තේරුම් කරන්න උත්සාහ කරලා බැරි බව දැනුණම, කාගෙවත් ඊළමකට වඩා යාළුකම වටින නිසාද කොහෙද කතාව වෙන මාතෘකාවකට මාරු කළා.

කොහොම හරි දෙදාස් නවයෙදි යුද්දේ ඉවර වුණා (?) කට්ටිය නම් කිව්වේ අපේ ජනාධිපති තුමා යුද්දේ ඉවර කළා කියලා. ළඟදි හිරෙන් නිදහස් වෙච්ච ජෙනරල් යුද්දේ ඉවර කළා කියලා තවත් සමහරු කිව්වා මට මතකයි. ඒත් ඇත්තටම යුද්දේ ඉවරද? අවි අතට අරගෙන දෙපැත්තෙම උන් එකිනෙකා මරාගත්තු යුද්දේ ඉවර ලු! එහෙමයි දන්න හැමෝම කියන්නේ. මගේ මොකෝ, යුද්දේ හැමදාමත් කොළඹ අපිට සෑහෙන දුරින් තමයි දැනුණේ. බෝම්බයක් දෙකක් කණ ළඟින් පුපුරලා කෙස්ගහකින් පණ බේරුණාම නම් ටිකක් විතර ළඟින් දැනුණා. ඊට පස්සේ, “ඔය කොටි ඔක්කොම වනසල නැති බංගස්තාන කරලා දන්න ඕන, උන්ගේ පවුල් පිටින් නැති කරලා දාන්නෝන” කියලා සතියක් විතර යනකම් තැන තැන බැණලා ගෙදර ගිහින් හවස ප්‍රවෘත්ති විකාශයේ කොටි අච්චරක් මෙච්චරක් මැරුණා ආමි එකේ දෙන්නෙක් විතරයි මැරුණේ වගේ කතා අහලා අනුපාතය ගැන කුරිරු සතුටක් විඳලා නිදාගන්න යනවා. ඒත් සතියකට දෙකකට පස්සේ ආයෙමත් කොළඹ වෙනදා වගේම කලබලකාරියි. (ලංකාවේ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක හිටින්නේ සතියයි කියලා වේලුපිල්ලේ ප්‍රභාකරනුත් කිව්වලු නේ)

යුද්දේ ඉවරවෙලා අවුරුදු හතරකුත් ඉවර වේගන එනවා. ඒත් අපි හැමෝම හිත් ඇතුළෙන් (සමහරු නම් පාරවල් වලත්) වෙන වෙන යුද්ද වල පටළැවිලා. ආණ්ඩුවේ යම් යම් දේවල් විවේචනය කළාම, “ෂ්ෂ්! කෑගහන්න එපා බූරුවෝ, සුදු වෑන් එකක යන්න ආසද?” කියලා  ඒ ගැන දන්නව කියන මිනිස්සු අහනවා. (ආණ්ඩුවේ කවුරුවත් තාම එහෙම අහනවා නම් මට ඇහිලා නෑ) පාරේ නම් දැන් යුද්ද කරන්න පටන් අරන් තියෙන්නේ හාමුදුරුවරුයි, (චීවරධාරියෝ?) සිංහලබෞද්ධ (තනි වචනයකි) මිනිස්සුයි. එයාලට ආගම ජාතිය බේරගන්න ඕනෙයි කියන්නේ. මුස්ලිම් මිනිස්සු තව අවුරුදු ගාණකින් රට අල්ලගන්න යනවයි කියන්නේ. අපේ කට්ටියගේ (සිංහල, දෙමළ, මුස්ලිම්) ජාතිවාදය අන්තර්ජාල සමාජ ජාල, අවුල්ජාලයක් කරලා. කුණුහරුපවලින්, තම තමන්ගේ ආගම් වල ධර්ම කාරණා වලින් දිගට කොමෙන්ට් දාලා වාද විවාද කරලා තමන්ගේ එක තමා හරි එක, ලොකු එක කියන්න දඟලනවා. සමහරු නම් කියනවා මෙව්වා වෙන වෙන අයගේ යටි උගුල් අහුවෙන්න එපා කියලා. (කියලා වැඩක් නෑ)

ඇත්තටම මේ රටේ මිනිස්සු කියන්නේ (මාත් ඇතුළුව) ඕපාදූප වලින් තොරව ජීවිතය ගෙවාගන්න බැරි ජාතියක්. යුද්දේ තියෙනකම් යුද්දේ ගැන ඕපාදූප ඇහුවා. දැන් යුද්දේ ඉවරවෙලා වෙන වෙන ඕපාදූප හොයනවා. ග්‍රීස් යක්කු, සුදු වෑන්, දුටුගැමුණුගේ කඩුව, මහින්ද රාජපක්ෂගේ වශී බෝලේ, පිටසක්වළ ජීවියෝ, තෙවන පාර්ශව, රෝහිතගේ ගෑණු ළමයගේ උපන් දිනේට දුන්න තෑගි, එජාපයේ ජාතිය පාවාදීම්, හලාල්, විදේශීය කුමන්ත්‍රණ, අනම් මනම් ඕපාදූප කෝටියයි.

යුද්දේ ගැන තාම කතා වෙනවා. කලින් විදිහට නැතුව වෙන වෙන විදි වලට යුද්දේ ගැන කතා වෙනවා. යුද්දේ ඉවර කළා කියන එක (ලංකාවේ අයට සතියකින් අමතක වෙන නිසාද කොහෙද ) දවස ගාණේ කවුරු හරි කියනවාමයි. ටීවී එකෙන් ඇහෙන “අවුරුදු තිහක යුද්දෙකට පස්සේ මේ රට දියුණු වෙන මේ අවස්ථාවේ..” කියන වාක්‍යයේ ඉඳන් සාමන්‍ය මිනිහා කියන “මොනා වුණත් යුද්දේ ඉවර කළානේ” කියන වචන ටිකට වෙනකම්ම මේක අපේ මොළවලට ‘ඉන්ජෙක්ට්’ කරලා. වෙන උදාහරණ ඕනේ නෑ, මේ මාත් ලියන්නේ.

දැන් හැබැයි පොඩි අමුතු විපර්යාසයක් වේගන යනවා. බොහෝ තැන් වල දකින්න ලැබුණු කාරණාවක් තමයි වැඩි දෙනාගේ හිත් වල හිටපු වීරයෝ දැන් මැරිලා කියන එක. දැන් ඒ රික්තකය මකන්න වෙන වීරයෝ නැති නිසා දුෂ්ටයා වීරයෙක් වේගෙන එනවා. පොඩ්ඩක් ආපස්සට හිතලා බැලුවොත් ඒ කාළේ යුධ වීරයෝ පසුව දුෂ්ටයෝ වුණු විදිහ ගැන සිදුවීම් කල්පනාවට එයි. සරත් ෆොන්සේකාගෙන් පස්සේ එකී කාරණාවට උදාහරණයක් වෙන්නේ වැලිවේරියේ වෙඩි තැබීම. “උඹලා ආරක්ෂා කරන්න බෝධි පූජා තියපු අපිට මෙහෙම නම්, උතුරේ හිටපු උන්ට කොහොමද කියලා අපිට හිතාගන්න පුළුවන්” කියන තැනේ ඉඳන් “මොනා වුණත් අවුරුදු තිහක් වත් මෙහෙම ගේම් එකක් තනියෙන් ගහන්න තරම් ප්‍රභාකරන් වීරයෙක්” කියන කාරණාවට එනකම්ම මේ රටේ මානසිකත්වය වෙනස් වේගන යනවා. ඥාණසාරගේ පටන් එක එක යටි අරමුණු රැගත් තනි තනි පුද්ගලයන් තාවකාලිකව ලංකාවට අවශ්‍යව තිබෙන වීරයාගේ භූමිකාව රඟපාලා ඒ කාරණාවෙන් අවධානය වෙන අතකට ගත්තට වතුරේ ඔබන්න හදන රබර් බෝලයක් වගේ ඒක උඩ එනවා.

ඒ එක්කම ප්‍රකාශනයේ නිදහස ගැන ප්‍රශ්න ඇහෙන්න ගන්නවා. වාරණය කියන කාරණාව සාමාන්‍ය වචනයක් බවට පත් වෙනවා. පවතින ක්‍රමයට එරෙහිව යමින්, සිදු වෙමින් පවතින විකාරරූපී සිදුවීම් ගැන තමන්ට හරි කියලා හිතෙන දේ ගැන කතා කරන බොහොමයක් දෙනා අතුරුදන් වෙනවලු. එහෙම නැත්නම් ඒ අය රාජ්‍ය විරෝධී, දේශද්‍රෝහී ලේබල් වලට එහෙමත් නැත්නම් කොටි පිල්ලියක්, එන්ජීඕ කාරයෙක්, හම්බයෙක් වගේ ලේබල් වලට ලක් වෙනවලු. කලා කාරයන්ට තමන්ගේ නිදහස වෙනුවෙන් කලාව කැප කරන්න වෙනවලු. හැබයි වගකිව යුත්තන්නම් කියන්නේ එහෙම එකක් නෑලු. මේවට අනේ මන්දා සරත් කියලා හුස්මක් අරගෙන දුක තමා රංජනී කියලා මේ වගේ ලිපියක් එක්ක ඒ හුස්ම පිට කරලා දාන එක ඇර වෙන කරන්න දෙයක් නෑ (?)

එකී මෙකී නොකී සියළුම කාරණා පැත්තකට දැම්මම, මොනා වුණත් අපිට තාම කල්පනා කරන්න කාරණාවක් ඉතුරුවෙලා තියෙනවා. ඇත්තටම යුද්දේ ඉවරද? නැත්නම් හරි යුද්දේ පටන් ගත්තේ දෙදාස් නවයෙද?

– යුද්දේ නැතුව පාළුයි! | Bored without War!

© 2013 Pamuditha Zen Anjana