මේ තුජේ මාර්දූඟා කුත්තේ කමීනේ සාලේ ටීවී එකේ!

දන්නා කාලයේ සිටම ලංකාවේ බහුතරයකට ඉන්දියාව ලොවෙත් පේන්නට බැරි ය. ඉන්දියාවේ එකෙක් වැරදිලාවත් පාරේදී හම්බුණොත් කාරා කෙළ ගහන සයිස් එකට මළ ය. ඒ කොහෙන් ආ මළක් දැයි මට නම් නිච්චියටම කිව නොහැකි ය. හැබයි එකෙක් දෙන්නෙක් හැර මට මෙතෙක් මුණ ගැහුණු ඇටිකිච්චාගේ පටන් බක පණ්ඩිතයා දක්වා ලාංකිකයන් සැවොම එලෙස ඉන්දියාවටත් ඉන්දියානුවන්ටත් රොම්බ සයිස් එකෙන් බණින බව නම් නිසැකවම දන්නවා ය.

කෙසේ වෙතත් පසු කාලීනව බෝවූ මාරාන්තික ක්‍රිකට් උණ නිසා ඉන්දියාවත් සමග පවතින මේ ජන්මාන්තර වෛරය තවත් වැඩි වී ඇති බව පැහැදිලි ය. ක්‍රිකට් උණෙන් ඔද වැඩුණවුන් ඉන්දියානුවන්ගේ මවු පියන් ආදරෙන් පවා සිහිපත් කරනවා ය. කවදත් මරාගන්නට බලාගෙන ඉන්නා ලංකාවේ උන් සෙල්ලමක් නිසා පවා මරාගන්නවා ය. ඉනුදු නොනැවතී සීපා එක්ටා වැනි ගිවිසුම් අත්සන් කරනවා කියූ ගමන් ගිවිසුමේ අකුරක්වත් නොදැක පවා මුන්දැලා ඉන්දියන් කාරයොන්ගෙන් සමාජ වෙබ් අඩවි වල මරාගෙන මැරෙන්න ගේම ඉල්ලනවා ය.

හැබැයි ඒ කෙසේ වෙතත් ලංකාවේ උන් වෙනස් ය.

ඉන්දියාවේ සබන් ඔපෙරා හෙවත් එක් පවුලක, පරම්පරා ගණනාවක ඕපා දුප ගණනාවක් නාට්‍යරූපි ලෙස ඉදිරිපත් කරන ශාන්ති, ප්‍රීති, භීති, ප්‍රවීණා, මහ ගෙදර, එහා ගෙදර, ඊට එහා පැත්තේ එකාගේ ආච්චිගේ ගෙදර වැනි අම්බානක දිග නාට්ය වගේ ඒවා රෑ බතත් පසෙක ලා තලු මර මර රස විඳිනවා ය. එවුවායේ රඟපාන නිළියන් මෙහේ “වැඩැම්මවූ” විට ඇකයේ හුන් දරුවන් පවා බිම අතහැර කාර් රැළියට අතවනන්නට දුව යනවා ය. ඉන්දියන් නළු නිළියන් මතකයට නංවාගෙන හොරෙන් හොරෙන් ස්වයං වින්දනයේ යෙදෙනවා ය. ඉන්දියන් ගීත රස විඳිනවා ය. හින්දුස්ථානී සංගීතය දේවත්වයෙහි ලා සළකනවා ය. අනෙකක් තබා ඒවායේ තනු ගෙඩි පිටින් ගෙන මෙහේ රීමේක් කරනවා ය. ෆිල්ම් පවා රීමේක් කරනවා ය. හැබැයි ඒ ඉන්දියාවෙන්ම ෂාරුක් ඛාන් ලංකාවට ආ විට මෙහේ උන් බෝම්බත් ගැහුවෝ ය. එනිසා මොනා වුණත් හැබැයි ඉන්දියාවත් එක්ක මුන්ට අමර මළක් තියෙනවා කියන එක නම් ෂුවර් ඇන්ඩ් ෂොට් ය.

ඇත්ත වශයෙන්ම කියුවහොත් ඒ වෙනස ගැන අපි ආඩම්බර විය යුතු ය.

සමහර විට මේ මළේ මුල ආදී රජ කාලේ ඉඳන් තිබූ සොළී ආක්‍රමණ නිසා විය හැකි ය. අනගාරික ඉන්දියාවට ගොස් බුද්ධගයාව බේරාගෙන එහෙටම වී ආයේ නම් ආත්ම ගණනාවක් ගියත් ලංකාවේ නම් නොඉපදේවා කියා මිය ගිය නිසා ද විය හැකි ය. තවත් සමහරක් විට මහින්ද අහසින් වැඩ තිස්සට කෝචොක් දමා අඹ ගස් ගැන ඇසීමෙන් වූ විළිලජ්ජාව නිසා විය හැකි ය. නැත්නම් සංගමිත්තා ජය ශ්‍රී මහා බෝධිය වැඩමවීමත් සමග දූපතට ආ සංස්කෘතික ආක්‍රමණය නිසාත් විය හැකි ය. එසේත් නැත්නම් ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය, තම්බපණ්ණියේ කුවේණිට රෙඩා පොට් කර බෝඩ් එකෙන් එළියට විසික් කළ නිසා ද විය හැකි ය. හැබැයි අන්තිම පොයින්ට් එක එච්චරම ලෙජිට් නැති ය. මන්ද යත් ඉන්දියාවත් එක්ක මේ තිබෙන මළේ හැටියට එහෙනම් මෙහේ එකාලා කුවේණිගේ දරු දෙපළ වන ජීවහත්ථ හා දිසාලාගේ පරම්පරාවට දූපතේ උරුමකරුවන් ලෙස සැළකිය යුතු නිසා ය. එහෙත් දැන් ඉන්න උන්දැලා වැද්දන් හෙවත් ලංකාවේ ආදිවාසීන්ව තඹ පයිසාවකට වත් ගණන් නොගන්නා බව ආදිවාසීන් පවා දන්නවා ය. මොකද මෙහේ බහුතරයකට ඇත්තේ සිංහ ලේ බව දන්නෝ දන්නා නිසා ය.

ගොඩක් කාලෙකින් මොකුත් නොලිවූ නිසා වටෙන් ගොඩෙන් මතක් වූ ඉන්දියන් කතා එලෙස පෙළ ගැස්වූ කල, මේ වෛරයට හේතුව දූපතේ හිමිකාරීත්වය තියෙනවා යැයි රාමායණයේ සහ ජනවහරේ සඳහන් වන රාවණා පරපුරේ යක්ෂ ගෝත්‍රිකයෝ පුටු කේස් එකක් නිසා ගිරි දිවයිනට එළවූ බුදුන් ගේ ක්‍රියා කලාපය ද විය නොහැකි බව ලියන්නාට හිතෙනවා ය. මන්ද යත් ඉන්දියාවේ උන්ට *ක *රාගෙන (දුක දරාගෙන) බණින ලංකාවේ උන්ගෙන් හෙණම සෙට් එකක් අදහන්නේ ඉන්දියාවේ ජීවත් වූ ආගමික ශාස්තෲවරයෙක් වූ බුදුන් හඳුන්වා දුන් දර්ශනයෙන් බිඳී ආ ආගමක් නිසාත් ඒ ආගම බිත්තර රකිනා කිකිළියන් මෙන් රැක ගන්නට තතනන උන්ගේ අම්මෝ ලොකු මෙවුවා එක විවිධාකාරයෙන් එළියට දැමීම නිසාත් ය.

බන්දු සමරසිංහ කියන්නා සේ “ආඩම්බරයි තේරුමක් නැතුව” ය.

© 2016 Pamuditha Zen Anjana