දේශානුරාගී අන්තවාදය

මේ බ්ලොග් පෝස්ට් එක දාන්න හේතුව වුණේ ෆේස්බුක් එකේ මගේ යාළුවෙක් ළඟදි මාව ටැග් කරලා දාලා තිබ්බ පෝස්ට් එකක්. ඔහු මාව ඒකේ ටැග් කරලා තිබුණේ මීට පෙර මම කිහිපවතාවක් ම ජාතිවාදය හා මුස්ලිම් අන්තවාදය කියන කාරණා පිළිබඳව ඔහු සමග වාද කර තිබූ නිසාවෙන්.

මුලින් ඒ පෝස්ට් එක කියවන්න.

මුලින් ඒ පෝස්ට් එක කියවන්න.

මුලින් මම එයට පිළිතුරු දෙන්නට නොසිතුවත් පසුව යම් කාරණා කිහිපයක් සඳහන් කිරීම අත්‍යාවශ්‍ය බව දැනුණු නිසාම ඔහුගේ පෝස්ට් එකම නැවත වෙනත් ආකාරයකට ප්‍රතිරචනය කර එයට පිළිතුරු දුන්නා. මෙතැන් සිට ඔබ කියවන්නේ ඔහුගේ අදහස් හා මගේ අදහස් ගැලපීම සහ නොගැලපීම සිදු වූ ආකාරය.

*******

“මේ තරම් දුරට කරුණු කාරණා ඉන්ටනෙට් එකේ දකිද්දි ඇයි ඔයා ජාතිවාදියෙක් නොවුණේ..?” සමහරු මගෙන් අහනවා.

මම ආඩම්බරෙන් කියන්නේ මම ජාතිවාදියෙක් නෙමෙයි කියලා!

හැබැයි එහෙම වුණේ නම් අපි හැදුණු විදිහ හින්දා.. තේරුණේ නැහැ නේද?. මුල ඉදන්ම කියන්නම්කෝ.

අපි ඉංග්‍රීසිය කරපින්නාගෙන හැදුණු මිනිස්සු නෙවෙයි. . ඇත්තටම සිංහල විදිහට විදිහට හැදුණු අය.. (අම්මා කොළඹ වුණාට තාත්තා දරුණු ගැමියෙක්!) පුංචි කාලේ අපි පාන්දර නැගිටින්න ඕන. ඒ නැගිට්ටාම රේඩියෝවේ පිරිත් දේශනාව… ධම්ම චින්තාව.. ඊට පස්සේ අර ලස්සන දේශානුරාගී ගීත… (මාල්ගුඩි දවසුත් යනවා ටීවී එකේ) පුංචි කාලේ අපි හැමදාම දවස පටන් ගන්නේ අපේ ආගම ගැන, අපේ ජාතිය ගැන, අපේ කම ගැන අපූරු ගෞරවනීය හැගීමක් එක්ක… (හැබැයි කවදාවත් අනිත් ආගම් පහත් කරලා කතා කරන්න අපිට උගන්නලා නෑ.. අනිත් ආගම්වල ජාතිවල එවුන් අමනුස්සයෝ කියලා අපිට කියලා දුන්නේ නෑ!)

පුංචි දවස් වල අපිව බලාගත්ත අත්තම්මා (විතරක් නෙමෙයි අම්මත්) අපිට කතන්දර කියලා දුන්නා. ග්‍රිම් සහෝදරයින්ගේ සුරංගනා කතා (හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්ගේ කතා, ඒ අය දන්නේ නැති නිසා පොත් ගෙනත් දුන්නා!) .. පන්සිය පනස් ජාතක පොතේ ජාතක කතා.. විහාරමහා දේවිය රට වෙනුවෙන් මුහුදට බිලිවුණ හැටි.. දුටුගැමුණු කුමාරයා සිංහල රට වෙනුවෙන් යුද්ධ කරපු හැටි.. අපේ ජාතිය ආගම ගැන අර අපූරු හැගීම ඒ හැම දේකින්ම පුංචි පැලෑටියක් වගේ වැවුණා. (ඒ එක්කම අනිත් ආගම් අදහන අයට ඒ නිදහස තියෙනවා කියලත් අපිට කියලා දුන්නා. මගේ ඉස්කෝලේ හොඳම යාළුවා මුස්ලිම්. උගේ පවුලේ නොතේරෙන පොඩි එකාගේ පටන් මට වෙසක් කාඩ් එවලා තියෙනවා… කඩෙන් අරන් නෙමෙයි.. අතින් හදලා! තේරෙන කමකට නෙමෙයි, ඒත් එහෙමයි උන් හිතන්නේ.)

(ටිකක් ලොකු වෙද්දි අපේ අත්තම්මලා 83දි දෙමළ මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත විදිහ ගැන, ඒ හිටපු පැත්තේ හිටපු මිනිහෙක්ගේ කෙස් ගහකට අත තියෙන්න එක පරයෙක්ට එන්න නොදීපු හැටි ගැන අපිට කියලා දුන්නා. ඔක්කොටම වඩා ලොකු මනුස්සකම කියලා තේරුම් ගන්න පාර හැදුවා. අම්මා මාව පල්ලියකට එක්කගෙන ගිහින් ඒක ගැන කියලා දුන්නා. ඒ ආගම් වල කතා තියෙන පොත් ගෙනත් දුන්නා. මගේ යාළුවත් එක්ක මම මුස්ලිම් පල්ලියකට ගියා. ඒකේ ඇතුළේ මිනිස්සු වඳින හැටි මම දැක්කා. ඒත් ඌ මට කවදාවත් උන්ගේ ආගම ලොකු කරලා කතා කියලා නෑ. තමන්ගේ විශ්වාසය එළියේ දාලා වනන්නේ නැතුව තමන් ළඟ තියාගන්න දන්න යාළුවෝ මට හිටිය එක ගැන මම සන්තෝස වෙනවා!)

ඉස්කෝලේ (ගියාම වගේම) ගිහින් ඇවිත් අපි හවසට බුදුන් වදින්න ඕන.. (ඉස්කෝලේ බුදුන් වඳිද්දී මුස්ලිම් උන් ක්‍රිස්තියන් උන් අත් පහළ දාගෙන නිසලව -තමන්ගේ ආගම සමහරවිට සිහි නොකළත්- ගෞරවය පෙරදැරි කරගෙන බිම බලාගෙන ඉන්නවා.) හවසට අපේ ගෙදර පැතිරිලා යන හදුන්කූරු සුවද, අපි සද්දෙන් ගාථා කියන හඩ.. හරි ප්‍රසන්නයි.. (හැමදාම හතට ඉස්සරහ පන්සලේ බුද්ධ පූජාවට ගිහින් සද්දෙට ගාථා කියන්න අපි හරි ආසයි!)

හැන්දෑවට ටෙලි නාට්‍ය බලන්න අපිට නිදහසක් තිබුණේ නැහැ. (පුංචිම කාලේ ටීවී එකේ බලන්න අවසර තිබුණේ කාටූන් විතරයි! ලොකු වුණාමත් වැඩියෙන් බැලුවේ කාටුන් තමයි. හැබයි අතරින් පතර හොඳ නාට්‍ය බැලුවා. පොත් කියවන්න නීතියක් නම් තිබුණේ නෑ.. හැබැයි හැමදාම මම ආසාවෙන් පොත් කියෙව්වා! අම්මලට ප්‍රශ්නේ තිබ්බේ පොතක් අතට ගත්තම වෙලාවට කන්නේ නැති එක ගැන! හැමදාම උපන් දිනේට ඒ හින්දම මට ලැබුණේ පොත් ගොඩක්! කැම්පස් යන්න ආසාවක් තිබ්බෙත් නෑ.. ආවත් යන්නෙත් නෑ කියලා හිතාගෙන හිටිය නිසාම මම ලේසියෙන් කැම්පස් යන්න පුළුවන් විෂයයන් වෙනුවට ගත්තේ භාෂාවන්.. මොකද උසස් පෙළ කියන අත්දැකීම ගන්න ඕන නිසාම.)

(ලෙනින් කවදත් මට වීරයෙක් වෙලා නෑ.. මාක්ස්වාදයේ සමහර කෑලි මගේ ළඟ ඇති.. ඒත් ඔය කිසිම වාදයක් ඔළුවේ එල්ලගෙන නෑ! මට වැඩකුත් නෑ! සෝම හාමුදුරුවෝ වීරයෙක් නෙමෙයි ඒ කාලෙට අදාළව මීඩියා වලින් එළියට ආපු බය නැතිව බොහොමයක් දේවල් ගැන කතා කරපු චරිතයක් විතරයි කියලා තේරුණේ ගොඩක් කාලෙකට පස්සේ. මම රාවණාත් දන්නවා, ඇලෙක්සැන්ඩර්වත් දන්නවා! සරදියෙල්වත් දන්නවා, රොබින් හුඩ්වත් දන්නවා! බුද්ධ වචනය අනුගමනය කරන්න හැකි හැම වෙලාවෙම උත්සාහ කරනවා, ඒ වගේම ජේසු, මුහම්මද්, ශිව ගැනත් දන්නවා. සියල්ල දත් නෙමෙයි. අවශ්‍ය තරමට දන්නවා!)

ඉරිදා උදේට ගෙදර වැඩ කරනකොට මම ඒ වැඩ කළේ සින්දුවක් අහගෙන (මට මිනිස්සු එක්ක හිනා වෙලා කතා කරන්න, එකට වැඩ කරන්න වගේම ඒ මිනිහා මොන වගේ එකෙක්ද කියලා තීරණය කරන්න ජාතියවත්, ආගමවත්, කුලයවත්, සමාජයීය හංවඩු වත් බාධකයක් වුණේ නෑ වගේම සංගීතය රසවිඳින්න භාෂාව බාධකයක් වුණේ නෑ)

අපි වෙනස් තමයි. ඒත් ඒ වෙනස ගැන අපිට ආඩම්බරයි. ඇයි දන්නවාද..?

අපි කවදාවත් (අනුන්ගේ ජාතිවලට ආගම්වලට අපහාස කරන, අනුන්ගේ ඔළු උඩ නැගලා උඹලා අපිට වඩා පහත් කියලා කියන, උඹලගේ ආගම සක්කිළියි ඒ හින්දා අපේ ආගම අදහපන් බුදු හාමුදුරුවෝ තමයි පොර කියන, නානසාරගේ කහ රෙද්ද අස්සේ හැංගිලා උඩු බුරන) අම්මා අප්පා විකුණන අවජාතිකයෝ නොවන නිසා.

මං හිතන්නේ මටත් වැරදුණා!

2013 Pamuditha Zen Anjana

යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!

ලංකාව; ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට, පෙරදිග ධාන්‍යාගාරය.. ඔන්න ඔහොමයි අපි ඒ දවස් වල ඉඳන් ඉගෙන ගත්තේ. ඒත් අද වෙද්දි, අපි නොහිතන විදිහේ විපර්යාස වලට ලක් වෙච්ච අපේ මව්බිම, අපි නොහිතපු විදිහට නිකම්ම නිකන් ම්ලේච්ඡයන්ගෙන් පිරුණු දූපතක් වේගෙන යන අපේ අනන්‍යතාවය… ඒක විනාශ වීගෙන යනවා. හැමෝම එකට මේ වගේ පුංචි දූපතක් ඇතුළේ ජීවත් වෙනවා කියන අදහසම දැන් මේ දවස් වල අන්තිම හුස්ම ටික ගන්න පණ අදිනවා. මොකද්ද වුණේ කියලා හොයලා බලද්දී එක හේතුවක් කියලා වෙන් කරලා අඳුරගන්න බැරි තරම්ම ඒක පැටලිච්ච නූල් බෝලයක් වෙලා.

කාලකණ්ණි යක්කු සේරම එකට එකතු වෙනවා එක දේකට. එක එක තැන් වලින් එක එක විදිහට එකතු වුණාට ඒ ඔක්කොම නවතින්නේ අන්තිමට එක තැනකට කියලා දැන් දැන් තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ දේ නවත්වන්න මොකද්ද කළ යුත්තේ කියලා තාම අපිටවත් හරියට නොතේරෙන එක. කූඩැල්ලන්ව මෙට්ටේ තියන්න බෑ වගේම මෝඩයන්ට තේරුම් කරන්නත් බෑ. අවියට අවිය කියන කතන්දරේ මේකට අදාළ නොවෙන්නේ ඔතනදී. උන් කරන දේම අපි කළොත් ඒක නිකම්ම නිකන් ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වෙනවා. වෙන විදිහකට මේකට විසඳුමක් සෙවිය යුතුයි.

ඔක්කොගෙම ඔළු විකෘති වෙලා පිස්සෝ වගේ මේ පොඩි රට ඇතුළේ දඟලනවා. එක එකා ළඟ ඉන්න එකාව මරාගෙන කන්න හදනවා. කවදාකවත්ම ඇහුණේ නැති අද්භූත කතා මේ වෙද්දි ඇහෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ දූපතේ ඉන්න ම්ලේච්ඡ ඔළු ඔක්කොම වගේ මේ වෙද්දි එකම විදිහකට හැඩ ගස්වලා ඉවරයි. එක තැනකින් හූ කිව්වොත් ඔක්කොම හූ කියාගෙන ඉවක් බවක් නැතුව යකා නටන්න ගනියි. ඒ වගේ අවස්ථා ගොඩක් අපි අත්වින්ඳා බොහොම මෑතකදි ඉඳන්. අදටත් අත් විඳිනවා.

අමු අමුවේ දරුණු කළකිරීමකින් තමා අද මේ දූපතේ හිර වෙලා ඉන්නේ. අපි අපි එකතු වෙන තැන් වල අපි අපේම රටක් හදාගෙන ඉන්නේ. සිංහල මුස්ලිම් දෙමළ භේදයක් නැතුව අපි ඔක්කොම එක බත් එක බෙදාගෙන කාලා ඉන්නවා. කවදාවත් උන්ගේ පල්ලියේ, කෝවිලේ කරන දෙයක් අපිට ප්‍රශ්නයක් වෙලා නෑ. උන්ටත් අපිව කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. හිතුණොත් මෙවා ඔක්කොම දාලා එකට ඉන්න එවුන් ටිකත් එක්කම වෙන රටකට යනවා. ප්‍රශ්න වලට විසඳුම් හොයන්න අවස්ථාවක් නැත්නම් ඉතින් ඒකෙන් පැනලා යන එක තමා කරන්න ඉතිරි වෙලා තියෙන හොඳම දේ.

මේවා ගැන බෞද්ධ අන්තවාදීන්ට (කට ඇරගෙන බලං ඉන්න දෙයක් නෑ. දැන් එහෙම එවුනුත් ඉන්නවා!) කිව්වම උන් ඉතිහාසය කබල් ගාන්න හදනවා. දුටුගැමුණු කාලෙදි හාමුදුරුවරු යුද්දෙට ගියා කියනවා. මේක ඉතිහාසය නෙමේ වර්තමානය. ඉස්සර හිටපු රජවරු හිටියා වගේ කාලයක් නෙමේ මේක. අනික දුටුගැමුණු කාලේ හිටපු හාමුදුරුවරු සිවුරු ඉරාගෙන ගහ මරාගත්තේ, හින්දු කෝවිල් කඩන්න ගියේ, කුණුහරුප කියාගෙන පාර දිගේ කටගොන්නක් බී ගෙන වැඩ දැම්මේ, දායකයන්ගේ දානේ තෙල අහිංසක මිනිස්සුන්ට පෙන්නුවේ නෑ.

ඒ වගේ එකෙක්ට මම කිව්වා තොට මරා රජ්ජුරුවෝ වගේ පෙණුනට අපිට එහෙම පේන්නේ නෑ. වරෙන් මේ පැත්තට අපි කොහොමද සමගියෙන් ඉන්නේ කියලා පෙන්නන්න කියලා. මාළිගාවත්තේ ප්‍රශ්නෙදී පන්සල් කඩන්න වෛශ්‍යාවන්ගේ පුත්තු එද්දී ඔය අහවල් බෞද්ධයෝ ටික තමා නැට්ට අහවල් එකේ ගහගෙන හිටියේ. අහල පහළ හිටපු මුස්ලිම් කොල්ලෝ ටික ආරංචිය ලැබුණු ගමන් අපේ පන්සලට එකතු වුණා.. “බයවෙන්න එපා මචං ඕකුන්ට පන්සල පැත්තේ එන්න දෙන්නේ නෑ!” උන් එක හඬින් කිව්වා. තොපි දන්නේ මොනවද යකෝ. නොදකින් කාඩ්බෝඩ් ඉන්ටනෙට් වීරයෝ!

මගේ ඉස්කෝලේ හොඳම යාළුවා මුස්ලිම්. උගේ පවුලේ නොතේරෙන පොඩි එකාගේ පටන් මට වෙසක් කාඩ් එවලා තියෙනවා… කඩෙන් අරන් නෙමෙයි.. අතින් හදලා! තේරෙන කමකට නෙමෙයි, ඒත් එහෙමයි උන් හිතන්නේ. තොපි කියනවා වගේ අහවල් එකක් උන් ලඟ නෑ. එක්කෝ ජීවිතේට මුස්ලිම් එකෙක් ලඟින් ආශ්‍රය කරපු නැති එවුන් දන්නේ නැති මඟුලක් කතා නොකර ඉන්න ඕනේ. මේක ලංකාව! උපන් දවසේ ඉඳන් අපේ අම්මලා තාත්තලා මිනිස්සුත් එක්ක හරි විදිහට ජීවත් වෙන හැටි උගන්නලා තියෙනවා. යමක් කමක් තේරෙන කාලේ ඉඳන් හැම ජාතියකම ආගමකම හොඳ යාළුවෝ මගේ ලඟින්ම හිටියා… තාමත් එහෙමයි! ජාතීන් අතර සමගිය පවත්වගෙන යන්න කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නෑ.. හිතේ තියෙන කුහක කම් නැති කර ගත්තම ඇති. පඟර නැට්ටෝ උඩුබිරුවට ඒ දේවල් නැති වෙන්නේ නෑ. හාමුදුරුවරු ගැන වැඩිය කතා කරන්නේ නෑ මොකද මොන අහවල් වැඩේ කළත් අපි තාමත් බුද්ධ චීවරේට ගරු කරන නිසා. නැත්නම් ජංගි ගැලවෙන, මයිල් ඉස්මයිල් වෙන කතා තියෙනවා මං ළඟ. හැම හාමුදුරු කෙනෙක්ම ඒ වගේ නෙමෙයි කියලා මම දන්නවා… ඒත් සසරෙන් ඉක්මණට එතෙර වෙන්න කියලා ශාසනේට ඇතුළු වෙන හාමුදුරුවරු පාරේ ගහ මරා ගත්තම ඉතින්, අනේ මන්දා සරත් කියලා ඔහේ බලා ඉන්නවා ඇර කරන්න දෙයක් කොහෙද?

උඹලා ගහ මරාගනිල්ලා උඹලා වගේම අන්තවාදී මුස්ලිම් එවුන් එක්ක. එක අහිංසකයෙක් හරි ඔය වගේ වැඩකදි අනතුරට ලක් වුණොත් අන්න එදාට උඹලාට දුවන්න පාරවල් හදා ගෙන තියා ගනිල්ලා! එදාට බෞද්ධයෝ, මුසල්මානුවෝ, කිතුණුවෝ, ද්‍රවිඩයෝ, විතරක් නෙමෙයි එකී නොකී හැම ආගමකම දහස් ගණන් සහෝදරයෝ තොපි වගේ ජාතිවාදීන්ගේ විකෘති ආශාවන්ට, විශ්වාසයන්ට විරුද්ධව පෙළ ගැහෙන්න සූදානමින් ඉන්නවා! ඒක මතක තියා ගනිල්ලා!

තෙරුවන් සරණයි!
එච්චරයි.

© 2012 Pamuditha Zen Anjana

පෙරවදන

දිරාපත් ව කුණු වී
එක් තැන් ව පල් වී
පණුවන් ගසා ගඳ ගසන
කාලකණ්නි තොපේ..!

ඇවිදින මළකුණු
සතපවාලන්නට,
සාමූහික මිනී වලවල්
තොපිම කපාගත්තාට
අපට ඇති රුදාවක්
ලොවෙත් නැත…

එහෙත්
ඒ මිනී වලවල්වලම
අහක සිටි අපටද
ලගින්නට වන්නේ නම්,
නිහඬවම
වලට බසින්නටද
අප සූදානම් නැත…

ඉදිරියට තබන අඩියක් පාසා
පිපෙන්නට නෙළුම් මල් නැත
මල් තිබුණ ද ඊට සරිලන
පොළවක් ඇත්තේද නැත…

නැති වන්නට දෙයක් ද
ඉතුරු වී නැත
අළුතින් ඇති කරන්නට දෙයක් ද
අහළක වත් නොමැත

දසතින්ම අපව වෙළාගත්
තිත්ත පාළුවක් පමණක් ම
මෙසේ නන්නාඳුන දූපතක් තුළ
හිතුවක්කාර ලෙස ශේෂ ව ඇත.

-යුද්දේ නැතුව පාළුයි! | Bored without War!

© 2012 Pamuditha Zen Anjana