#OccupyTheSquare

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද හවස “නිදහස්” චතුරශ්‍රයේ පැවති විරෝධතාවයට කඩාපාත් වීම නිසා ගොඩක් අයගේ ආතල් කුඩු වෙලා ඇති බව පේනවා ය.
 
අනෙකක් තබා ඒ වෙලාවේ එතන සිටි මා ද කල්පනා කළේ යකෝ මූ මොකාටද මෙතනට එන්නේ කියලා ය. ඒ ප්‍රශ්නය ඩබල් වුණේ මන්ත්‍රීවරයා අර “අසරණ” සෙකියුරිටි ගාඩ්ලාව මැද්දට ගෙනැවිත් තවත් “අසරණ” කරනවා දුටු විට ය. මට පමණක් නොව එතන හිටපු ඔක්කෝටම වාගේ තිබ්බ ප්‍රශ්නේ මේ “අසරණ” මනුස්සයන්ව ඇයි හිර කරන්නේ කියලා ය. මොකද පහත් තැනින් ගලා යයි ජලේ කියා කියමනක් එතැනින් මිමිණෙනවා හීනෙන් මෙන් ඇසුණු නිසාත්, සාමාන්‍යයෙන් ලංකාවේ දේසපාලුවෝ කිසිදු දේශපාලනික සංවිධානයක් ප්‍රධානවී සංවිධානය නොකරන ඕනෑම අටමගලකට කඩා පාත් වී එක දාගෙන ලකුණු සීයම අරගෙන “විභාගේ” ගොඩ දාගන්නා බව දන්නා නිසාත් ය.
 
නමුත් මේ සිදුවීමේදී මන්ත්‍රීවරයාගේ මැදිහත් වීම නිසා මීට වඩාත් ලොකු අවධානයක් ලැබුණු බව සඳහන් නොකරම බැරි ය. මන්ද යත් “ෆේස්බුක් එකේ එවුන්ගේ විරෝධතාවයක්” යන්නට වඩා මන්ත්‍රීවරයෙක්ගේ මූණට රූපවාහිනී කාලය වෙන් වෙනවා වැඩි බැවිනි.
 
ලංකාවේ දේශපාලනය වැඩ කරන්නේ එලෙස ය. ලියන්නාගේ මතය වන්නේ ඒකට තාම උත්තර හොයන්නට තබා ඒ පිළිබඳව හිතන්නටවත් ලංකාව සූදානම් නැති බව ය. මන්ත්‍රීවරයාගේ ලකුණු දාගැනීම ලියන්නා නොසළකා හරින්නේ එබැවිනි.
 
කෙසේ වෙතත් ඇත්ත ප්‍රශ්නෙන් බාගයක් එළියට එන්නේ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න කිරීමෙනි. දෙදාස් පන්සීයේ සංස්කෘතිය බේරාගන්නට, සංස්කෘතිය බිත්තරයක් මෙන් රකින්නට සැදී පැහැදී සිටින “සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ” සදාදර අණ පරිදි නීතිය අකුරටම ඉටු කළා යැයි කියන, එම ආරක්ෂක නිලධරයන් නියෝග දුන්නේ කවුදැයි පැහැදිලි කරගත නොහැකිව බිත්තර ගිල්ලාක් මෙන් හිරවීමත්, නිදහස තකා අමු තකතීරු මට්ටමේ පිළිතුරු ලබාදීමත් නිසා පැහැදිලි වන්නේ ආරක්ෂක නිලධරයන් “හිතුමතේ ජීවිතේ” සංකල්පය අනුව යමින් සංස්කෘතිය සදාචාරය හා නිදහස් ස්මාරකය රකින්නට තමාගෙන් ඉටු විය යුතු දෑ මෙයැයි සිතා ලොකු සීන් දාන්නට ගොස් නාගත් වග ය. ඔවුන් තම හිතුමනාපෙට හා “කුලියාපිටි චින්තන මට්ටමට” අනුව සදාචාර ඉරි ගසාගෙන ඇති වග පැහැදිලි ය. එක් නිලධරයකුගේ සදාචාර ඉර “දරුවෙක් සමග එන යුවළක් පවුලක් වේ ලෙස අර්ථ දැක්වීම” දක්වාත් අනෙකාගේ සදාචාර ඉර “කරට අත දාගෙන සිටීම අවිනීත හැසිරීමක් ලෙස වර්ග කිරීම” දක්වාත් යන පරාස ඔස්සේ විහිදී ඇති බවද පැහැදිලි ය.
 
ප්‍රශ්නයේ ඉතුරු බාගය ඇත්තේ සෙකියුරිටි ගාඩ්ලාගේ අත නොවේ ය. ඉතුරු බාගය ඇත්තේ මෙලෙස සිතන්නට සෙකියුරිටි ගාඩ්ලා පුරුදු කරවූ දෙදාස් පන්සීයේ අම්මගේ රෙද්ද අස්සේ ය. එනම් මෙම ටොම්බා සයිස් ලොකු එකේ බුදු අම්මෝ වටිනවා රැකගන්න ඕනේ විනාස කරන්න දෙන්නේ කොහොමද යකෝ මේ අපේ සදාචාරේ යකෝ මේ අපේ සභ්‍යත්වය *ත්තෝ(ඇත්තෝ) ලෙස වර නගනා බිත්තර කටුව තුළ ය. සංස්කෘතිය සදාචාරය හා සභ්‍යත්වය යුතු පාලකයන් ද සංස්කෘතික අමාත්‍යාංශ ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ද නිලධරයන් ද සෙකියුරිටි ගාඩ්ලා ද එම චින්තනයෙන් බැට කන බිත්තර කටුවෙන් එළියට එන්නට වැර දරණ මිනිසුන් ද බිහිවන්නේ එකී බිත්තර කටුව තුළමය. ආදරය හා ලිංගිකත්වය මැජික් වන්නේ ද ඒ බිත්තර කටුව තුළමය.
 
ඒ අනුව බලන කල ප්‍රශ්නයේ පළමු භාගයට පිළිතුරක් ලැබී ඇත. “හිතුමතේ” වැඩකළා යයි කියන ආරක්ෂක නිලධරයන් හා ඔවුන්ගේ ආයතනයේ ගිවිසුම අවලංගු කර ඇත. එනම් හෙට සිට ඉන්නේ වෙනත් ආරක්ෂක නිලධරයන් කණ්ඩායමකි. නව නිලධරයන් මේ කාරණය හා එහි ප්‍රතිඵල පිළිබඳ දැනුවත් බව නිසැක ය. එනම් හෙට දින සිට නිදහස් චතුරශ්‍රයේ කෙල්ලෙක්ට හා කොල්ලෙක්ට ඉඳගෙන සිටීමට ඊනියා නීති වලින් බාධාවක් නැති ය. අත් වැල් පටළා යෑමේදී කවුරුත් එළවන්නට එන එකක් නැති ය. ඉඳගෙන නිදහසේ සිටිද්දී එළවන්නට එන එකක් නැති ය. මන්ද යත් පණිවුඩය එළියට ගොස් හමාර නිසා ය.
 
අමාරු කර්තව්‍යය ප්‍රශ්නයේ දෙවන භාගයට පිළිතුරක් සෙවීම ය. මන්ද යත් ප්‍රශ්නයේ දෙවන භාගය නිදහස් චතුරශ්‍රයට පමණක් සීමාවන්නක් නොවන නිසා ය.
 
එය මේ තරම් පහසුවෙන් පිළිතුරු ලබාගත හැකි ප්‍රශ්නයක් නොවේ ය.. ඒ සඳහා ඊනියා; සංස්කෘතික ප්‍රේමියෝද, සංස්කෘතික ආරක්ෂකයෝ ද, සංස්කෘතික පොලීසි ද, ටොම්බා ලොකු සයිස් මහා සංස්කෘතියේ හිමිකරුවෝ ද සමග සටන් කරන්නට බිත්තර කටුවෙන් එළියට එන්නට වැර දරණ සියලු දෙනාට සිදු වේවි ය. අපහසුවෙන් වුව ද එයට ද අප ඉදිරියේ මුහුණ දිය යුතු ය.
 
එකෙළවර සිතුවිලි විප්ලවයකින් අනතුරුව සංස්කෘතිය පූජාසනයෙන් බිමට බස්වා ඊට නියමිත ස්ථානයේ තැබෙනු ඇත. සදාචාර ඉර නිවරදි තැනින් ඇඳීම ද සභ්‍යත්වයේ වර නැගීම නිවරදි ලෙස ද සිදුවනු ඇත. නිදහස් චතුරශ්‍රයේ ද විහාරමහාදේවි උයනේ ද පේරාදෙණියේ ද දියතේ ද කිලිනොච්චියේ ද දූපතේ අනෙක් තැනෙක ද ආදරයේ නිදහස නියමාකාරයෙන් වර නැගෙනු ඇත. මිනිසුන් දිගින් දිගටම සිහින දකිනු ඇති ය. සැබෑකරගන්නා සිහින සමග ඉදිරියට පිය නගිනු ඇති ය. ඒ දවස එන තුරු ලියන්නා මග බලා සිටිනවා ය.
 
සත්‍යයට ජය!
 
© 2016 Pamuditha Zen Anjana

ප. ලි.

අද හවස නිදහස් චතුරශ්‍රයේ නිදහස සොයා ආ සැමෝටම බොක්කෙන්ම ස්තූතියි ය!

දූපතේජීවිතේ_01

අපි ඉන්න දූපතේ උන් අවුරුදු බරගාණක් තිස්සේ රැකගෙන ආපු පට්ට මොන්ගල් ලොකු මෙවුවා එකේ සංස්කෘතියක් තියෙනවලු ඈ. ඒක මේ දැන් හැදෙන *ත්තන්ට(ඇත්තන්ට) කොහොමටත් තේරෙන්නෑලු ඉතිං. කොටින්ම කියනවනම් මේ අමුතු සංස්කෘතියේ හැටියට මෙහා ගමේ එකාට දාව එහා ගමේ ගෑණු දෙතුන් දෙනෙක්ටම සමහරවිට ළමයි හම්බවෙනවලු.. ඔව් යකෝ.. අම්මපා!

මාත් හරියටම දන්නෑ. ඔය මම කියන ගම් දෙකේම කරක් ගහපු පොඩි එකෙක් කිව්වේ.

ඒ පොඩි එකා කියපු විදිහට ඒ ගමේ ගෑණුයි මේ ගමේ පිරිමියයි කවදාවත් ළඟටවත් එන්නේ නැල්ලු. ඇහැක් ඇරලවත් දෙන්නට දෙතුන්දෙනා බලලවත් නැල්ලු. කවදාවත් හම්බවෙලත් නැල්ලු. අතකින් අල්ලලවත් නැල්ලු. අඩුම තරමේ හීනෙකින්වත් දැකලා නැල්ලු. (බොරු නම් ඒ ගම් දෙකේ උන්ගෙන් අහන්න) හැබැයි කොහොමහරි උන්ට දාව ළමයි උපදිනවලු. ඒ ළමයි ඉපදුණාම ගමේ උන් පුදුම වෙන්නේ කලබල වෙන්නේ මොකුතුත් නැල්ලු.

එහෙම වෙන්නේ කොහොමද කියලනේ අහන්නේ?

ඒක වෙන්නේ මෙහෙමයි.

ඔය ළමයි හම්බුණාම රෙඩා පොට් වෙලා තියෙන්නේ තමන්ගේ ගමේ එකෙක්ගෙන් වෙන්න බෑ කියලා සැකහැර දැනගන්න ගම්මුලෑදෑනියයි ඒ ගමේ අනිත් උනුයි ඒ පැත්තේ ඉඳන් කෑ ගහලා මෙහා ගමේ උන්ගෙන් අහනවලු “මේ ළමයා කොහෙන්දෝ..ඕ..ඕඕඕ?” කියලා.

එතකොට මෙහා ගමේ උන්ට සීන් එක මීටර් වෙලා ඒ පැත්තට ඇහෙන්න හයියෙන් කෑගහලා කියනවලු “රෝස කැලෙන් ඇහින්දෝ..ඕ..ඕඕඕඕ!” කියලා. ඔය විදිහට ළමයි දෙතුන් දෙනාගෙම ජාතකේ හොයාගත්තට පස්සේ විනාඩි පහක විරාමෙකින් අනතුරුව “දඩිං බිඩිං ඩෝං” කියලා වැඩේ සාමයෙන් සාමදානයෙන් ඉවර වෙනවලු.

එහෙම තමා මේ රටේ සංස්කෘතිය දෙදාස් පන්සීයක් නොනැසී ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඈ.

ඒ වැඩෙන් සංස්කෘතියේ රැකුණේ කොහොමද කියලා අහන්නේ?

ඇයි බූරුවෝ තොට තේරෙන්නැද්ද එහෙම තමයි සංස්කෘතිය රැක ගන්නේ. සංස්කෘතිය රැකගන්න ඒක ඉදිරියට ගෙනියන්න ළමයි හදන්න ඕනා. වෙන රටවල හදනවා වගේ “සභ්‍ය” විදිහට ළමයි හදන්න මේ දූපතේ *ත්තෝ(ඇත්තෝ) දන්නේ නෑ නේ. දන්න සභ්‍යම ක්‍රමේ ඕක. ඒ විදිහට තමා ඒවා මේන්ටේන් කරන්නේ. අවුරුදු දෙදාස්පන්සීයක් රැකපු හඩු රෙද්ද නොහෝදා එහෙමම ඉස්සරහ පරම්පරාවලටත් පෙරවගන්න දෙන්න ඕන. ඔව්වා තොපිට තේරෙන්නෑ. සංස්කෘතියක, සදාචාරයක, සභ්‍යත්වයක අගය තොපිට තාම දැනෙන්නෑ. දැනුම් තේරුම් තියෙන දවසකට ඔය රෙද්දේ හඩ්ඩේ අගේ තොපිට තේරෙයි.

එතකන් කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි නිදහසේ කතා කරන්න, ඇවිදලා මහන්සි වුණාම ඔහේ බලාගත්තු අතේ බලාගෙන ඉඳන් ඉන්න, නිකන් ළඟට වෙලා ඉඳන් ඉන්න වගේ දේවලට රෝස කැලේ හොයාගනිල්ලා. මොකද මේ රටේ ඉන්න හැමෝම පොඩි ළමයි. පොඩි ළමයිව වරදින් මුදාගන්න මේ දූපතේ *ත්තෝ(ඇත්තෝ) ඕන *කක්(එකක්) කරයි!

© 2016 Pamuditha Zen Anjana