“වරදට සමාව දෙන” මිනිසුන් ඕනෑ කර තිබේ!

උදයා සීගිරිය නැග්ගා ය. නගින අනෙක් අය මෙන්ම වටපිට බලමින් අවට සිරි නරඹමින් පතරංග ගලක් තරණය කළා ය. තරණය කරන අතරමග, සිංහල, දමිළ, ඉංග්‍රීසි, භාෂා තුනෙන්ම “අල්ලන්න එපා” කියා සඳහන් කළ බෝඩ් ලෑලි එල්ලා තිබූ පත සයිස් දිළිසෙන තාප්පයක ඈ ගලකින් සූරා නමක් සටහන් කළා ය.

“මෙහි කුණු දැමීම බල්ලන්ට පමණි” කියා බෝඩ් එල්ලා තිබෙන තැනෙක, බල්ලන් පැමිණ කුණු දමා යනවාක් සේ, “මෙහි මුත්‍රා කිරීම බල්ලන්ට පමණි” කියා ලියා ඇති තාප්පෙකට, බල්ලන් ඇවිත් මුත්‍රා කර යනවාක් සේ, “මෙහි දැන්වීම් ඇලවීම තහනම්” කියා ලියා ඇති පොදු ස්ථානයක, බල්ල- සමාවන්න- යම් පුද්ගලයන් ඇවිත් පෝස්ටර් උඩ පෝස්ටර් අලවා යනවාක් සේ, “දිය නෑම අනතුරු සහිතයි” යනුවෙන් සඳහන් තැන්වලම දියබුං ගසන්නට යනවාක් සේ, “තීන්ත වේළී නැත” කියා බෝඩ් ගසා ඇති අළුතින් තීන්ත ආලේප කර ඇති ගේට්ටුවක ඇඟිලි ගසා තීන්ත වේලී නැත්දැයි බලනවාක් සේ, එපා කියන දේම කරන ශ්‍රී ලාංකීය “බබාලා” සේ, ඈ අතගාන්නට එපා කී පවුරේ නමක් සටහන් කළා ය.

අවුල වූයේ පෙරකී කවරකටත් වඩා මේ පවුර වැදගත්කමක් ඉසිලීමයි. ඒ වැදගත්කම පුරාවිද්‍යාත්මක එකක් වීමයි. එක්දාස් හාරසිය බරගණන් වලටත් ඉස්සර ඈත අතීතයේ ගල තරණය කළ දූපත් වැසි සංචාරකයෝ කුරුටු ගෑ කවි එක්දාස් බර ගණනකින් ඒ පවුර වැසී තිබීමයි. ඒ සංචාරකයන්ගේත් මේ උදයා නමැති සංචාරිකාවගේත් කුරුටු වල වෙනස හා වැදගත්කම කුමක්දැයි ප්‍රශ්න කළ යුත්තේ තව අවුරුදු එක්දාස් බර ගාණක් ගිය විට සිටින්නාවූ මිනිසුන්ගෙන් ය. අපට එහි වෙනස කීමට සත්‍යය වශයෙන්ම නොහැක.

උදයා ජාතියෙන් ද්‍රවිඩ වීමවත්, කාන්තාවක් වීමවත්, දුප්පත් වීමවත්, නීතිය නොදැන සිටීමවත්, ඈ කළ වරද නොසළකා හැරීමට හෝ සමාව දී නිදහස් කිරීමට කිසිම අයුරකින් හේතුවක් නොවේ. එහෙත් අප මෙහිදී බැලිය යුත්තේ මේ වරද ජීවිතයක් අඳුරු කර “සීගිරියෙන් බිමට තල්ලු කිරීමට” තරම් දරුණු වරදක් ද යන්න ය.

ලංකාවේ සිර ගෙවල් පිළිබඳව අප හොඳින් අසා තිබේ. කුඩා කළ පාසලේ ක්ෂේත්‍ර චාරිකාවලින් ද, පසුව රූපවාහිනියේ ද සිරගෙවල් ඇතුළත පිළිබඳ අපි දැක අසා ලැබූ අත්දැකීම්, කයි කතන්දර එමට ය. සුළු වරදවලට සිර දඬුවම් ලැබූවන්, දඬුවම් විඳ, දරුණු අපරාධකරුවන් ව කළ එළි බසිනයුරු අප අසා තිබේ. ඇප වශයෙන් රුපියල් සීය දෙසීය ගෙවා ගත නොහැකිව දිගු කාලයක් සිර දඬුවම් විඳින්නවුන් පිළිබඳව ද අප අසා ඇත්තෙමු. සිර ගෙවල් තුළ ගෙවන යම් කාලයකට අනතුරුව, වරදක් පිළිබඳ පසුතැවීමෙන් එළියට එන පුද්ගලයා ඒ නිසා නැවත වරදක් නොකර සිටීමට තරම් පුනරුත්ථාපනයකට ලක් වන ආකාරය පිළිබඳ සුරංගනා කතා වැනි කතා අප ඕනෑ තරම් අසා ඇත. එහෙත් එසේ පසුතැවීමෙන් එළියට පැමිණ යළි වරදක් නොකරන පුද්ගලයන් අප දැක ඇත්තේ අතේ ඇඟිලි ගණනට ය. අතිශය බහුතරයක්, එනම් සිය දහස් ගණනක් සිර දඬුවම් විඳ එළි බසින්නේ, පාතාලේ “තද කකුල්” දෙක තුනක් අතගා සමහරවිට “කකුලක්” බවට පරිවර්තනය වෙලා බව නම් ඕනෑ තරම් දැක අසා ඇත්තෙමු. පිරිමි ගැහැණු වෙනසක් නැත. දෙකේම තත්ත්වය එසේ ය.

මඩකලපුවේ හිඳ පැමිණි, මීට පෙර කිසිදු සිර දඬුවමක් නොවිඳි, අපරාධයකට ලාවට වත් ගෑවී නැති උදයා අවුරුදු දෙකක් හිරේ යන්නට සූදානම් වන්නේ මෙවන් තත්වයක් යටතේ ය. ඇයට ලබා දී ඇති දඬුවමේ සාධාරණත්වය ප්‍රශ්න කෙරෙන්නේ මේ තත්ත්වය යටතේ ය. ඈට ලැබී ඇති දඬුවම “සීගිරියෙන් පහළට තල්ලු කිරීමක්” වෙන්නේ එනයිනි. ඈට ලැබුණු දඬුවම නැවත සළකා බැලිය යුතු වන්නේ එබැවිනි.

නීතිය පිළිබඳව මෙන්ම නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව පැහැදිලි ලෙසම ප්‍රශ්න ගණනාවක්, නොපැහැදීම් ගණනාවක් අප සිත් තුළ තිබේ. යම් වරදවලට සිර දඬුවම් දීමට නීති සැකසී ඇත්තේ එය බොහෝ කාලයක පටන් පැවත එන සමාජ සංශෝධන ක්‍රමවේදයක් නිසා ය. ඉන් වරදට පෙළඹෙන්නෝ එකී වරද කිරීමෙන් ලැබෙන ප්‍රතිවිපාක සිහිවීමෙන්, දඬුවමට ඇති බිය නිසා වරද කිරීමට පෙළඹෙන්නේ නැති බව එහිදී නැගෙන තර්කයයි. එහෙත් මෙකී ක්‍රමවේදය පිළිබඳව උපහැරණ දීමට, අන් අයටත් ආදර්ශයක්, පාඩමක් වීම උදෙසා මෙසේ මනුෂ්‍යයෙකුගේ අනාගතයක් අනතුරේ හෙළීම මේ මොහොතේ ප්‍රශ්න කෙරෙමින් පවතී. මේ යෝජනා කෙරෙන්නේ වෙනත් ක්‍රමවේදයක අවැසිතාවයක සේයා දැයි කල්පනා කර බැලීම වටී.

මෙහිදී සන්නස්ගලයන් අයිටීඑන් එකේ පත්තර කියවන්නට ඇවිත් කියූ කතාවක් සිහි වේ.

“පුරවැසියන් වන අපව පාලනය කිරීම සඳහා උඹලා අපිට දාන නීති උඹලාම කඩනවානම් උඹලගේ නීති අපි මොකටද රකින්නේ කියලා පුරවැසියන්ට ප්‍රශ්නයක් තියෙනවා”

කතාව සහතික ඇත්ත ය. පුරවැසියන්ට පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. රට පුරා නිධන් හාරා, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කුහුඹු පුකක් තරම් වත් නොසළකා, මිනී මරා, කටුගෙදරටම පැන කඩු උස්සා, යකා නැටූ පුද්ගලයන් ඔහේ නිදැල්ලේ ඉද්දී, පොඩි තැන්වලින්ම මෙලෙස ජලය ගලා යන්නේ ඇයි දැයි ඔවුන්ට ප්‍රශ්නයක් තිබේ. සල්ලි තියෙන, බලය තියෙන අය නීතියෙන් රිංගා යන්නට නීතියේ හිඩැස් හොයාගනිද්දී, නීතියේ රැහැනින් ගැළවීමට මුදල් හෝ බලය යොදාගනිද්දී, එකී පහසුකම් නොමැති අය වුවමනාවට වඩා දඬුවම් විඳින්නේ ඇයි දැයි මිනිසුන්ට ප්‍රශ්නයක් තිබේ. උදයා පිටින්, ඇයට නිදහස දෙන්නට යැයි කියා, මේ සමාජ ජාල ඔස්සේ පුපුරා යමින් පවතින්නේ එකී කෝපයයි. එකී අසරණ වූ හෘද සාක්ෂීන්ගේ ප්‍රතිරාවයයි.

එහෙත් පිළිතුර නීතිය ක්‍රියාත්මක නොකර සිටීම නොව, සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම ය. නීතිය පිළිබඳ ලියන්නාගේ සේම අනෙක් අයගේද බිඳ වැටී ඇති විශ්වාසය ගොඩනැගීම ය. අපට තේරෙන අන්දමට ඈට ලැබිය යුත්තේ සමාවක් නොවේ. ඈට ලැබිය යුත්තේ “සාධාරණ” දඬුවමකි. මේ පවත්නා අපරාධයට දඬුවම් දීමේ “සිස්ටම්” එක හෙවත් ක්‍රමවේදය පිළිබඳ කෙතරම් ප්‍රශ්න තිබුණද “නීතිය ක්‍රියාත්මක විය යුතු ය” යන ආස්ථානයක ලියන්නා සිටින බව සඳහන් කළ යුතු ය. මන්ද යත් පවතින ක්‍රමවේදයන් වෙනස් කිරීම ‘සටාස්’ ගා මදුරුවකු තළනවාක් මෙන් කරනවාට වඩා ක්‍රමානුකූලව පිළිවෙලකට කළ යුතු දෙයක් බැව් සුපැහැදිලි කාරණාවක් බැවිනි. කෙසේ වෙතත් මෙලෙසින් එක් පුද්ගලයෙක්ගේ නාඩි වැටීම වෙනුවෙන් සංවේදීව විශාල පිරිසක් අත්වැල් බැඳගැනීම පිළිබඳව ලියන්නාට බලවත් සතුටක් තිබෙන බව ද කිව යුතු ය. වෙනස් වන්නේ ද වෙනස් කරන්නේ ද මේ අයුරිනි.

“අවවාදයට වඩා ආදර්ශය උතුම් ය” යන්න සේම “දඬුවම් දීම ට වඩා ඉගැන්වීම උතුම් ය” යන්න ද අතිශය වැදගත් බව අවසානයට ලියා තැබිය යුතු ම ය.

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

Advertisements

One thought on ““වරදට සමාව දෙන” මිනිසුන් ඕනෑ කර තිබේ!

  1. දඩුවම් දීමට වඩා ඉගැන්වීම උතුම්………………… ඔබේ ම නිර්මාණයක් වගෙයි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s