අහවල් තැනේ කැසිල්ලට බෙහෙත්

අපි ඉස්සර හිතුවා අන්තවාදී ආගමික මෝඩයන්ට උත්තර දෙන්න ඕනේ නෑ, ඔය මෝඩ අදහස් ඉබේම ඇරිලා යාවි කියලා. පස්සේ බලාගෙන යද්දී මෝඩයෝ අම්බානක පැටවු ගහලා. ඒක දරුණු වසංගතයක් වගේ අනේ මේ යසට හිටපු කොල්ලො කුරුට්ටන්ටත් බෝ වෙලා. පාරේ යන ගමන් ඔය පඳුරකට දෙකකට පයින් ගහපුවහම මෝඩ පැටවු දෙතුන් සීයක් එළියට විසි වෙනවා! එතකොට තමා තේරුණේ මෙච්චර කල් කරලා තියෙන්නේ අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකම් ඉඳලා නේද කියලා. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවලු පිරිසිඳු බුදු දහම අවුරුදු දෙදාස් පන්සීයක් විතර යනකම් රැඳිලා තියෙන්නෙ අපේ රටේ කියලා. මම හිතන්නේ ඒ අවුරුදු ගාණ ගෙවිලා ඉවරයි!

ඒ කතාව කියන්නේ සාධාරණ හේතු සාධක සළකා බලලා. මේ දවස් වල වෙන වැඩ දිහා පොඩ්ඩක් සාවධානව ඇස් කණ් යොමු කළාම පේන්න ඇහෙන්න ගන්නවා අමුතු අමුතු කතා ටිකක්. සල්ලි දීලා බුදු බව ලබාගන්න පුළුවන් කියනවා. එහෙම කරන්න පුළුවන් කිව්වාහම අපේ හාමුදුරුවරු සෙටාර් එක ගැන්සි බැහැල අදාල තැන වට කරනවා. චෛත්‍ය වලින් “බුදු” රැස් විහිදෙනවා. ඒක බලන්න ගිහින් උපාසක අම්මලා ගොඩක් තුවල කර ගෙන දෙතුන් දෙනෙක් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් එතනම පෑගිල පරලෝ සැපත් වෙනවා. තව සමහරු රට ගිහින් ආපු ගමන් බෝධිසත්වයෝ වෙනවා. තමන්ගේ ඇඟේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවයි කියනවා. එළකිරි එකේ ෆෝරම් වල බුදු වෙච්ච, රහත් වෙච්ච කොල්ලො ඉලෙක්ට්‍රොනික් උදාහරණ වලට යොදාගෙන ගිහි බණ කියනව. ගාමණී ෆිල්ම් එකේ ඩබ්ලිව්. ජයසිරි රඟපාන ආවේගශීලී හාමුදුරුවොන්ගේ චරිතය දැකලා අපේ හාමුදුරුවරු ඔක්කොම මේ වගේ ඉන්න ඕනේ කියල අපේ ගිහි අයියල එකාවන්ව කියා සිටිනවා. අටලෝ දහමින් බුදු හාමුදුරුවෝ කම්පා නොවී හිටියට අපි එහෙම ඉන්න ඕනේ නැහැයි කියනවා.

ඒ අතරේ මේ දවස් වල ලංකාවේ නාමික බෞද්ධයෝ ඔක්කොම හදිසියේම දෙබරෙකට ගල් ගහලා වගේ ඇවිස්සිලා! ට්‍රෙන්ඩ් එකට ආගම අදහන, භාවනා ක්ලාස් යන අපේ නාමික බෞද්ධ අයියලා සෙට් එක දැන් ඉන්ටනෙට් ත්‍රස්තවාදයට බැහැලා. සෝම හාමුදුරුවන්ගේ අපවත් වීම විකුණං වළඳපු අපේ පාර්ලිමේන්තු “සාධු”ලා ටිකත් සිවුරු පෙරවගෙනම ගේම් එකට බොක්කෙන් සපෝට්. මේ හාමුදුරු හොරු සෙට් එක අහක යන දේවල් ටක් ගාලා පුම්බලා ඒවට අහස උඩට යන්න චාන්ස් අරන් දෙනවා. ඊට පස්සේ ඒවා පාවිච්චි කරලා ඡන්දෙන් ගොඩ යනවා. ඒකෝන් ලංකාවට ගෙන්නන්න හදද්දිත් උනේ ඒක. ශාරුක් කාන්ට බෝම්බ ගහන තැනට කටයුතු සිද්ධ කළෙත් ඒ අයමයි! දැන් ඔය කස්ටිය සෙට් වෙලා නවතම ගේමකට රෙඩි වෙනවා කියන ආරංචිය ඊයේ මගේ හොඳ යාළුවෙක් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගෙන තියෙනවා. කලාව හිර කරන්න තව නීති සෙට් එකක් ගේන්න යනවයි කියලා ආරංචියි!

ඕකට මුල් වෙලා තියෙන්නේ අපේ ගයාන් පෙරේරා ප්‍රමුඛ “ඩැඩී” බෑන්ඩ් එක මේ ලඟදී එළියට දාපු “ටිකෙන් ටික” ගීතය හා ඒ අදාල රූප රචනය. ඒ ගීතයේ මැද හරියේ එක තැනක “ජය මංගල ගාථා” ටිකක්, ලස්සනට, කිසිදු හානියකින් තොරව යොදාගෙන තියෙනවා. මම බුදු දහම හොඳට දන්න බෞද්ධයෙක්. මගේ කලාත්මක ඇහෙන් මිදිලා, ගීතයේ රස වින්දනය ගැන මගේ ඔළුවේ තියෙන අදහස් පසෙක දාලා මම බෞද්ධ ඇහැකින් රූප රචනය බලාගෙන බෞද්ධ කණ් වලින් ගීතය ඇහුවා. දැන් අහන්න එපා ඒ වැඩේ කොහොමද කළේ කියලා. ඒක උඹලට බැරුව ඇති. මට පුළුවන්! කොහොමහරි මට බුදු දහමට නිග්‍රහ කරන එක තැනක් වත් හොයා ගන්න බැරි වුණා. සමහර විට උඹලට අනුව මම දන්න බුදු දහම වැරදි ඇති. ඒක වෙන්න ඇති මට එහෙම අපහාස කරන තැනක් හොයා ගන්න බැරි වුණේ!

එකෙක් තමන්ට තේරෙන විදිහට වීඩියෝ ක්ලිප් එකක් හදලා යූ ටියුබ් එකට අප්ලෝඩ් කරලා තිබ්බා. ඒකේ ටයිට්ල් එක විදිහට ඒ යකා යොදාගෙන තිබුණේ “පිරිත් රැප්” කිරීම යන අදහස එන එකක්. යකෝ “ජයමංගල ගාථා” කියන්නේ පිරිතක්ද? අනිත් එක ඒ සින්දුවේ රැප් කරලා තියෙන්නෙ කොහෙද? ඒ අස්සේ ගුණදාස කපුගේ ගායනා කරන “අපි අසරණ වෙලා වගේ” කියන ගීතය පසුබිම් කරගෙන ගයාන්ගේ ඡායාරූපයක් සහ බුදු සිරිතේ තැනින් තැන සිතුවම් පෙළක් එක දිගට ප්ලේ වෙනවා. මට ගයාන්ගේ මූණ දැකලා අර සින්දුව ඇහෙද්දී හිනා ගියාට අනිත් එවුන්ට ගයාන්ව පේනවා ඇත්තේ නිකන් දේවදත්ත වගේ කියල මම දන්නවා. මට තේරෙන විදිහට නම් ඔතන වෙලා තියෙන්නේ අපේ අන්තගාමියෝ ටික “ටිකෙන් ටික” වෙන විදිහකට තම තමන්ගේ එක් එක් අරමුණු සාක්ෂාත් කරගන්න යොදාගන්නවා. නෙත් එකේ “බැලුම්ගලෙන්” පටන් අරගත්තාම අපේ පාර්ලිමේන්තුව දක්වා ඔය ප්‍රශ්නය මහා ලොකු කාරණාවක් කරගෙන. ප්‍රධාන හේතුව ගයාන් පෙරේරා ඇතුළු ඩැඩී කතෝලික ආගම ඇදහීමත්, ගයාන්, සුනිල් පෙරේරාගේ පුතෙක් වීමත් කියලා ඕන මිනිහෙක්ට පැහැදිලිවම පේනවා.

අපේ නව පරම්පරාවේ ගිහි උපාසක උපාසිකාවෝ සෙට් එක දන්නේ ෂෝ එකට පිරිත් නූලක් බැඳගෙන, ෂේප් එකේ පන්සලක් පැත්තට ගිහිල්ලා කෑල්ලක් බලලා එහෙම බස් එකේ ගෙදර එද්දී පන්සලක් හරි බුදු පිළිමයක් හරි බෝ කොළයක සේයාවක් හරි දැක්කහම පශ්චාත් වන්දනාවේ යෙදිලා ගෙදර ඇවිත් ඉන්ටනෙට් එකෙන් මොනා හරි ලබ්බක් හොයාගෙන ගිරිය පුප්පගෙන ලංකාවේ සංස්කුරුතියයි බුද්ධාගමයි විනාශ කරන්න විදේශීය බලවේග කුමන්ත්‍රණ කරනවා කියල කෑ ගහන්න විතරයි!

මොකාද එකා මොකද්ද එකක් පෙරළෙනවා කියලා දිව්වා වගේ මුනුත් එකා පස්සේ එකා වැටි වැටි දුවනවා. දුවන්නේ ඇයි කියලා ඇහුවොත් සමහර විට කියයි නෑ බං ඉස්සරහා එකත් දිව්ව හින්ද මාත් දිව්වා කියලා. හොයලා බලලා තමන්ගේ බුද්ධියෙනුත් හිතලා කෑ ගහපල්ලා යකුනේ! නිකම් හිස් දේවල් වලට මෙහෙම කෑ ගහන්න ගත්තම ඉස්සරහට ඇත්තටම කෙළියක් වුණොත් කෑ ගහන එකේ වලංගු භාවය නැතුව යනවා! හරියට අර කොටියා ආවා කියලා කෑ ගහපු පොඩි එකාට වුණා වගේ!

මම හූනා කිව්වා වගේ කියන්නම්, මේ යන විදිහට ගියොත් අර ඉස්ලාම් අන්තවාදීන් ඇති වුණා වගේ ලංකාවෙත් බෞද්ධ අන්තවාදීන් සෙට් එකක් අවි අතට අරගෙන මිනිස්සු මරන්න පටන් ගන්න දිනය වැඩි ඈතක නෙමේ! වෙනදාට වඩා ටිකක් ඇන්ටනා කරකවලා මීටරෙන් හිටපල්ලා. ඕක පස්සෙ මම නොකිව්වා කියන්නෙපා! ඇස් කණ් ඇරගෙන බකං නිලාගෙන හිටියා ඇති. ඔන්න එකතු වෙලා මොකක් හරි කරන්න කාලය ඇවිත්!

Advertisements

6 thoughts on “අහවල් තැනේ කැසිල්ලට බෙහෙත්

  1. හැමතැනම දාන කමන්ට් එක දාන්නම්

    පාට කන්නාඩි දාගෙන ලෝකේ බලනකොට ලෝකේ පේන්නෙත් පාට පාට. ඉතින් කවදාහරි ඒ කන්නාඩි නැතුව ලෝකේ බලන්න පුළුවන් උනොත් ඔය සංස්කෘතික වාදියෝ තමන්ගේ මතෙන් බැහැරව ඉඳීවි.
    ඒත් ඒක මේ කපේට වෙන්නේ නෑ.

    අනික ඔය කීබෝර්ඩ් වීරයෝ කෑගහන්නේ හරියට ඊයේ පෙරේදා මේ සින්දුව ඇහුවා වගේනේ. අපිට නම් ඔය කියන විදියේ ගාථාවක් රැප් කරනවා ඇහුනේ නෑ. මට නම් ඇහුනේ ලංකාවේ සම්ප්‍රධායක සංගීත කන්ද වගේ ඒවා දාපු ලස්සන සින්දුවක් අනික බලුම්ගලට උවමනාවක් තිබ්බ නම් මෙච්චර කල් යන්නේ නැතුව සින්දුව රිලීස් කර දවසට පහුවෙනිදම මේ ගැන වැඩසටහනක් කරන්න තිබ්බනේ අයි එක ජාතිවදේ අවුස්සන බ්ලොග් එකකින් ලිපියක් දානකන්ම හිටියේ?

    මේ සින්දුවට මෙච්චර කට්ටිය දඟලන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනිම හේතුව තමයි, ඉරාජ්ගෙ සිත්ති මනීලා සින්දුව තහනම් කරපු එක. අපේ රටේ කුඩා ප්‍රතිශතයක් වන ඉස්ලාම් භක්තිකයන් පිරිසක් කළ ඉල්ලීමකට ඒ සින්දුව තහනම් කළා. අපේ අයියලාට ඕක කාල ඉන්න බැරි වුණා. ඊට පස්සෙ හොය හොයා උන්නෙ අපේ ආගමටත් කොහෙන් හරි කෑල්ලක් ගෑවෙනකල් කෙලවලා දාන්න. ඔය අහු වුණේ. දැන් ඉතින් දඟලයි. උන්ට එහෙම කරන්න පුළුවන් වුණා නම් අපිට බැරි මොකද කියලා නෙ කවුරුත් කෑ ගහන්නෙ. මෙතන බලන්න ඕනෙ ඇත්තටම ආගමට කරපු අපහාසයක් හින්දා කෑ ගැහිල්ලක්ද එහෙමත් නැත්තං එකට එක කිරීමක්ද කියලා. මධ්‍යස්ථව බලන කෙනෙක්ට තේරෙනවා ඇත්ත මොකද්ද කියලා. මේ විරෝධයට හේතු වුණ අනිත් කාරණේ ගයාන් පෙරේරා බුද්ධාගමේ නොවීම. ගොඩක් සයිට් වල ඒ අයගේ ආගමටත් එක්ක බැනලා තිබ්බේ. තවත් අයට ජාතිවාදී කියලා ඇඟිල්ල දික් කරන අපේ ජාතිවාදී කමේ තරම හොඳටම පේනවා. මම කියන්නේ නෑ මේ සින්දුව හොඳයි කියලා, මේ සින්දුව ආපු මුල්ම කාලෙ මුලම ටික අහද්දි මට එපා වුණා. මේ සිද්ධිය ගැන කතා වෙද්දියි මම මුළු සින්දුවම ඇහුවෙත්. සින්දුවට ගාථාව යොදාගෙන තියෙන විදිහෙ වැ‍රැද්දක් තියෙනවා, වීඩියෝ එකේ ඒ අවස්ථාවේ යන දර්ශනයෙත් “ලංකාවෙ හැටියට” ලොකු වරදක් තියෙනවා. ඒක තේරුම් කරලා දුන්නහම හදා ගනියි. තවත් ඕනෙ නම් නීතියකුත් ගේන්න, මේ විදිහෙ වැඩ කරන්න බැරි වෙන්න. මොහිදීන් බෙග් මහත්තයගෙ “ඔබෙ රාගී මන” සින්දුව ඇහුවොත් ඒකෙ “බුද්ධං සරණං ගච්ඡාමී” කියලා සින්දුවක් විදිහටම කියද්දි ඒ කාලෙ හරි මේ කාලෙ හරි ඔය ආගම් ප්‍රේමීන් කොහෙද හිටියෙ. මම හිතන්නෙ ඒ කාලෙ හිටපු මිනිස්සු දැනට වඩා විවෘත මනසකින් ඉඳලා තියෙනවා. මම උපතින් බෞද්ධයෙක්. මගෙ උප්පැන්න සහතිකේ තියෙන්නෙ එහෙම. හැබැයි මම ට්‍රෙන්ඩ් එකට, අන්තර්ජාලයේ වීරයෝ වෙන්න බෞද්ධාගම අදහන්නෙ නෑ. අනිත් ආගම් වල කියලා ඇති, ආගමට අපහාස කරන එවුන්ව මරාපල්ලා කියලා, ඒත් අපේ ආගමේ එහෙම දෙයක් කියලා නෑ කියලයි මම දන්නෙ. අපිත් එහෙම කරන්න හැදුවොත් බෞද්ධයාගෙයි අනිත් ආගමෙයි තියෙන තියෙන වෙනස මොකද්ද? අන්තිමට අපිත් අන්තිම පහල මට්ටමකට වැටෙනවා නේද?

    මේ සින්දුව සිත්ති මනීලා එන්න කලින් ආවා නම්, ඒ ආවට පස්සෙත් ඒක තහනම් නොකළා නම්, ගයාන් පෙරේරා බුද්ධාගමේ වුණා නම්, අපි තවමත් කිසි සද්දයක් නැතුව මේ සින්දුව අහ අහ ඉඳියි.

  2. මමත් මේ ලිපියට එකඟ වෙනවා, මේ ගීතයේ එක තැනක “භවතු සබ්භ මංගලම් ….” ගාථාව යොදාගෙන තියෙනවා, නමුත් මෙහි තේරුම වෙන්නේ බුදුන් වහන්සේගේ , බුදු දහමේ , සංඝ රත්නයේ අනුභාවයෙන් සෙතක්ම වෙන්න කියන එක මිසක මෙය බුදුන් නමදින ගාථාවක් නෙවෙයි. අනික හැම බෞද්ධ විවාහයකදිම දෙපලට මෙලෙස සෙත් පතනවා , මෙය අපිට දිනපතා නිවසට යහපතක් වෙන්න යොදාගන්න පුළුවන් ගාථාවක් , ඒ හින්ද මගේ නම් මේ ගීතයට කිසිම විරුද්ධත්වයක් නැහැ. අනික මේ ගීතයේ අර්ථය හරිම ලස්සනයි, කියවෙන්නේ ආදර සබඳතාවක් ජය ගත්ත දෙපලක් විවාහ වෙන එක ගැන , ගිහියෙක්ට විවාහය වරදක් නෙවෙයි , ඉතින් එවැනි තැනක මෙම ගාථාව කියල සෙත් පතන එකේ කිසිම වැරද්දක් නැහැ , එය ගීතයක් ඇතුලේ තිබ්බත් එහි වැරද්දක් නැහැ. මෙම ගාථාවෙන් සෙත් පතලා පස්සේ අරක්කු බීල නටන මගුල් ගෙදරක මෙම ගාථාව කියනවට වඩා මේ ගීතය ඇතුලේ මෙම ගාථාව හරිම නිවැරදියි කියලයි මම හිතන්නේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s